තමිල්නාඩුවේ පිහිටි මුහුදු ආහාර අපනයන කර්මාන්ත ශාලාවක අද (ජූනි 21) පස්වරුවේ සිදුවූ බිහිසුණු ඇමෝනියා වායු කාන්දුවක් හේතුවෙන් සේවකයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මෙම අනතුර සිදුවන අවස්ථාවේදී කර්මාන්ත ශාලා පරිශ්‍රය තුළ සේවකයින් 120 දෙනෙකු පමණ සේවයේ නිරතව සිට ඇත. වායු කාන්දුවත් සමඟ හුස්ම ගැනීමේ දැඩි අපහසුතාවන්ට ලක් වූ සේවකයින් රැසක් රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති අතර, දැනට ලැබෙන වාර්තා අනුව 40කට අධික පිරිසක් රෝහල් ප්‍රතිකාර ලබමින් සිටිති.
අනතුරට ලක්වූ සේවකයින්ගේ මුඛයෙන් සහ නාසයෙන් ලේ ගැලීම් වැනි බරපතළ රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති බවත්, එය ඉහළ සාන්ද්‍රණයකින් යුත් ඇමෝනියා වායුව ආශ්වාස කිරීමේ ප්‍රතිඵලයක් බවත් පෙනී යයි. බලපෑමට ලක්වූවන් වහාම ප්‍රාදේශීය රෝහල් වෙත යොමු කිරීමටත්, සහන කටයුතු ක්‍රියාත්මක කිරීමටත් බලධාරීන් පියවර ගෙන තිබේ.
මෙම සිදුවීමත් සමඟ තමිල්නාඩුවේ කර්මාන්තශාලා ආශ්‍රිත ආරක්ෂක විධිවිධාන පිළිබඳව දැඩි අවධානයක් යොමු වී ඇත.
















