ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ විරුදුනගර් ප්‍රදේශයේ පිහිටි ගිනිකෙළි කර්මාන්තශාලාවක ඊයේ (ඉරිදා) සවස් කාලයේ සිදුවූ දරුණු පිපිරීමකින් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. “වනජා ගිනිකෙළි කර්මාන්තශාලාවේ” (Vanaja Fireworks Industry) මෙම අනතුර සිදුව ඇති අතර තවත් පුද්ගලයින් සිව්දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බව වාර්තා වේ.
ඉරිදා දිනයක් බැවින් කර්මාන්තශාලාව වසා තැබිය යුතු වුවද, අනතුර සිදුවන අවස්ථාවේ සේවකයින් 50ක පමණ පිරිසක් එහි සේවය කරමින් සිට ඇති බව බලධාරීහු පවසති. මුල් පිපිරීමෙන් පසු සහන සේවා ක්‍රියාත්මක වෙමින් පවතිද්දී තවත් පිපිරීමක් සිදුව ඇති අතර, ඉන් තවත් පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලබා ඇත. මියගිය 25 දෙනාගෙන් 22 දෙනෙකු මේ වන විට හඳුනාගෙන ඇති අතර ඉන් බහුතරය කාන්තාවන් බව වාර්තා වේ.
කර්මාන්තශාලා හිමිකරු සහ එහි ප්‍රධානියා මේ වන විට ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් හතරක් යොදවා තිබේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ තමිල්නාඩු මහ ඇමති එම්.කේ. ස්ටාලින් මෙම ඛේදවාචකය සම්බන්ධයෙන් සිය ශෝකය පළ කර ඇති අතර, විපතට පත්වූවන්ට අවශ්‍ය සහන සලසන ලෙස නිලධාරීන්ට උපදෙස් දී ඇත.














