රුමේනියාවේ පාලක සභාග රජයේ ප්‍රධාන හවුල්කරු වන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (PSD), ලිබරල් පක්ෂයේ අග්‍රාමාත්‍ය ඉලී බොලෝජන් (Ilie Bolojan) මහතාගෙන් සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස අද (අප්‍රේල් 20) ඉල්ලා සිටීමට නියමිත බව වාර්තා වේ. මෙම තත්ත්වය හමුවේ එරට තුළ දැඩි දේශපාලන අර්බුදයක් නිර්මාණය වීමේ අවදානමක් මතුව තිබේ.
දැඩි මතධාරී දක්ෂිණාංශික කණ්ඩායම් බලයට පත්වීම වැළැක්වීම සඳහා පක්ෂ හතරක එකතුවෙන් මෙම සභාග රජය පිහිටුවනු ලැබුවේ මීට මාස 10කට පෙරය. කෙසේ වෙතත් ප්‍රතිසංස්කරණ පියවරයන් සම්බන්ධයෙන් පක්ෂ අතර පවතින ගැටුම් හේතුවෙන් මෙම අර්බුදය නිර්මාණය වී තිබේ. අග්‍රාමාත්‍ය බොලෝජන් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් නොවන බව ප්‍රකාශ කර ඇති අතර, ඒ අනුව සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ අමාත්‍යවරුන් හයදෙනා ඉදිරි දින කිහිපය තුළ කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා අස්වීමට ඉඩ ඇත.
මෙම දේශපාලන අස්ථාවරත්වය රුමේනියාවේ ණය ශ්‍රේණිගත කිරීම්වලට සහ යුරෝපා සංගමයෙන් ලැබීමට නියමිත යුරෝ බිලියන 28ක අරමුදල් ලබා ගැනීමට ද දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි ආර්ථික විශේෂඥයෝ අනතුරු අඟවති.














