තංගල්ල පොලිස් වසමට අයත් මැඩිල්ල මුහුදු තීරයේදී ඊයේ (අප්‍රේල් 21) සවස් කාලයේ සිදුවීමට ගිය බරපතල අනතුරකින් ධීවරයන් දෙදෙනෙකු බේරාගැනීමට පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් සමත්ව තිබේ. ඔරුවක් ආධාරයෙන් මසුන් අල්ලමින් සිටියදී හදිසියේ ඇති වූ සැඩ පහරකට හසුව ඔරුව පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව ඇත.
මෙලෙස අනතුරට පත්ව ඇත්තේ තංගල්ල ප්‍රදේශයේම පදිංචි අවුරුදු 17 සහ 49 යන වයස්වල පසුවන පුද්ගලයන් දෙදෙනෙකි. ඔරුව පෙරළී ඔවුන් මුහුදේ ගසාගෙන යන අවස්ථාවේදී, වෙරළ තීරයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් වහා ක්‍රියාත්මක වී ඇත. ඒ අනුව උප පොලිස් පරීක්ෂක නිමල් දිසානායක, පොලිස් සැරයන් සමීර (23944) සහ පොලිස් කොස්තාපල් චින්තක (40523) යන නිලධාරීන් දැඩි පරිශ්‍රමයක් යොදා මුහුදට පැන මෙම දෙදෙනා නිරුපද්‍රිතව වෙරළට ගෙන ඒමට සමත්ව තිබේ.
උත්සව සමයත් සමඟ මෙවැනි දිය අනතුරු ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බැවින්, වෙරළාරක්ෂක සහ ජීවිතාරක්ෂක සේවාවන් තවදුරටත් ශක්තිමත් කිරීමට පොලිසිය පියවර ගෙන ඇත. ජීවිතයක වටිනාකම හඳුනාගනිමින් තම ජීවිත පවා පරදුවට තබා මෙම ධීවරයන් දෙදෙනා බේරාගත් පොලිස් නිලධාරීන්ගේ සේවය ප්‍රදේශවාසීන්ගේ ඉහළ ඇගයීමට ලක්ව තිබේ.














