දේශගුණික විපර්යාස හේතුවෙන් යුරෝපය පුරා අධික උෂ්ණත්වය නිසා සිදුවන මරණ, බෝවන රෝග සහ ආහාර අනාරක්ෂිතභාවය ඉහළ යමින් පවතින බව 2026 ‘ලැන්සෙට් කවුන්ටඩවුන්’ (Lancet Countdown) වාර්තාව පෙන්වා දෙයි. අද (බදාදා) නිකුත් කරන ලද මෙම වාර්තාවට අනුව, සෞඛ්‍යය කේන්ද්‍ර කරගත් අර්ථවත් පියවරක් ගැනීමට ඇති කාලය ශීඝ්‍රයෙන් අවසන් වෙමින් පවතින බව විද්‍යාඥයෝ අවධාරණය කරති.
දේශගුණික විපර්යාස හේතුවෙන් ඇතිවන සෞඛ්‍ය අවදානම් දැඩි ලෙස ඉහළ යමින් තිබුණද, ඒ පිළිබඳව පවතින මහජන උනන්දුව, දේශපාලන මැදිහත්වීම සහ මාධ්‍ය අවධානය අඩුවෙමින් පවතින බව වාර්තාව පෙන්වා දෙයි. ක්‍රියාමාර්ග ගත යුතුම මොහොතක මෙලෙස උදාසීන පිළිවෙතක් අනුගමනය කිරීම බරපතල තත්ත්වයක් බව එහි සඳහන් වේ.
හයිඩෙල්බර්ග් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජොආකිම් රොක්ලෝව් (Joacim Rocklöv) පවසන පරිදි, දේශගුණික විපර්යාස නිසා යුරෝපය පුරා ඇතිවන සෞඛ්‍ය බලපෑම් අපගේ ප්‍රතිචාර දක්වන වේගයට වඩා වේගයෙන් තීව්‍ර වෙමින් පවතී. මෑත වසරවලදී යුරෝපය ලැබූ ප්‍රගතිය පිළිබඳව පමණක් සතුටු විය නොහැකි බවත්, සැබෑ සෞඛ්‍ය අර්බුදයකින් බේරීම සඳහා කඩිනම් සහ ක්‍රියාකාරී දේශපාලන මැදිහත්වීමක් අත්‍යවශ්‍ය බවත් ඔහු පෙන්වා දෙයි.
මෙම වාර්තාව මගින් අවධාරණය කරන්නේ හුදෙක් පරිසරය ගැන පමණක් නොව, දේශගුණික විපර්යාස සෘජුවම මානව සෞඛ්‍යයට එල්ල කරන මාරාන්තික තර්ජනය තේරුම් ගෙන කටයුතු කිරීමේ අවශ්‍යතාවයි.














