ප්‍රමුඛ පෙළේ සංවිධානාත්මක අපරාධකරුවෙකු ඝාතනය කිරීම සඳහා දියත් කර තිබූ සැලසුමක් ව්‍යර්ථ කිරීමට සහ ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නිව් සවුත් වේල්ස් පොලිසියේ “ටාස්ක්ෆෝස් ෆැල්කන්” (Taskforce Falcon) ඒකකය සමත්ව තිබේ. මෙම කුමන්ත්‍රණය සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් දෙදෙනෙකුට අලුතින් චෝදනා එල්ල කර ඇති බව පොලිසිය තහවුරු කරයි.
පසුගිය 2025 සැප්තැම්බර් 26 වැනිදා බැන්ක්ස්ටවුන් (Bankstown) ප්‍රදේශයේදී ව්‍යාජ අංක තහඩු සහිත මෝටර් රථයක් පරීක්ෂා කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී එහි සිටි පිරිස පොලිස් අණ නොතකා පලා ගොස් තිබුණි. එහිදී ඔවුන් විසින් මග දමා ගිය පටවන ලද ගිනි අවියක් සහ පසුව අතහැර දමා තිබූ රථය පොලිස් භාරයට ගැනුණි. විමර්ශනවලදී හෙළි වූයේ මෙම පිරිස සංවිධානාත්මක අපරාධකරුවෙකු ඝාතනය කිරීම සඳහා සැලසුම් සහගතව සෝදිසි මෙහෙයුම් සහ පලායෑමේ සැලසුම් සකස් කර තිබූ බවයි.
පසුගිය මාසයේදී මීට සම්බන්ධ පුද්ගලයන් හතර දෙනෙකුට චෝදනා එල්ල වූ අතර, ඉන් අනතුරුව සිදුකළ පුළුල් විමර්ශනවලින් පසු පසුගිය අප්‍රේල් 30 වැනිදා 23 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගැනුණි. ඊයේ (මැයි 11) සිඩ්නි නුවරදී 28 හැවිරිදි තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් දෙදෙනාටම මනුෂ්‍ය ඝාතනයකට කුමන්ත්‍රණය කිරීම, සාපරාධී කල්ලියකට සහාය වීම සහ ගිනි අවි ළඟ තබා ගැනීම ඇතුළු බරපතල චෝදනා රැසක් එල්ල කර තිබේ. මෙම සැකකරුවන්ට ඇප ලබා දීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත.














