27 April 2024
#සංවර්ධන

අල නිෂ්පාදනය වැඩි කරන්න ඉන්දියාවේ තාක්ෂණය මෙරටට 

ශ්‍රී ලංකාවේ අර්තාපල් නිෂ්පාදනය 80% කින් ඉහළ නැංවීම සඳහා නව තාක්ෂණය හඳුන්වා දීමට ඉන්දීය සමාගමක් එකඟතාව පළ කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.  ශ්‍රී ලංකාවේ දැනට හෙක්ටයාරයකින් ලබා ගන්නා අස්වනු ප්‍රමාණය  මෙ.ටො. 4 ක් පමණ වන නමුත් හෙක්ටයාර 01 කින් ලබාගන්නා අර්තාපල් අස්වනු ප්‍රමාණය මෙ.ටො. 13 දක්වා ඉහළ නැංවිය හැකි නව තාක්ෂණය සහ අර්තාපල් ප්‍රභේද හඳුන්වා දීමට ප්‍රමුඛ ඉන්දීය සමාගමක් වන BVG India සමාගම ඊයේ (12) දින එකඟතාවය පළ කළේ ය.

BVG India සමාගමේ සභාපති සහ කළමනාකරණ අධ්‍යක්ෂ H.R. Gaikwad මහතා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතර ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශයට නව තාක්ෂණය හඳුන්වා දීම සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබේ.

එහිදී කාබනික ගොවිතැන, කෘමිනාශකවලින් තොරව පළිබෝධ හානි අවම කිරීමට පියවර ගැනීම, කෘමි හානිවලට ඔරොත්තු දීමේ හැකියාව ඇති බෝග හඳුන්වා දීම, හිරු එළිය භාවිතයෙන් ක්‍රියාත්මක වන කෘමීන් හසුකර ගැනීමේ උගුල් හඳුන්වා දීම සහ ඒවා භාවිත කරමින් පළිබෝධ හානි වළක්වා ගැනීමට කටයුතු කිරීම සහ ශ්‍රී ලංකාවේ අර්තාපල් වගාව වැඩි දියුණු කිරීම ආදී කරුණු භාවිතාවන් සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ලැබී ය.

ඒ අනුව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමඟ හවුල්ව ඒකාබද්ධ ආදර්ශන ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කර BVG සමාගම් සමූහය විසින් (Barath Vikash Group) හඳුන්වා දෙන නව තාක්ෂණය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හට උපදෙස් දුන්නේ ය.

BVG India සමාගම දැනට ඉන්දියාවේ තිබෙන කෘෂිකාර්මික හා කාර්මික නිෂ්පාදන පිළිබඳ ප්‍රමුඛතම ආයතනයකි.එහි සේවය කරන සේවක පිරිස 7500 ඉක්මවන බව කී එහි සභාපතිවරයා, නව කෘෂිකාර්මික තාක්ෂණය භාවිතය සම්බන්ධයෙන් විවිධ පරීක්ෂණ සිදුකරන  බව ද  පැවසී ය.

 

එම අවස්ථාවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්.එම්.එම්.බී වීරකෝන් මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *