පසුගිය වසරේ සිදුවූ මාරක හදිසි ගංවතුරකින් දැරියන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 27 දෙනෙකුට ජීවිත අහිමි වූ ටෙක්සාස්හි Camp Mystic ක්‍රිස්තියානි ගිම්හාන කඳවුර යළි විවෘත කිරීමේ බලාපොරොත්තු අවඅවදානමකට ලක්ව තිබේ. එම කඳවුර නැවත බලපත්‍ර ලබා ගැනීම සඳහා ඉදිරිපත් කළ හදිසි ආරක්ෂක සැලසුම දෝෂ සහිත බව පවසමින් ටෙක්සාස් සෞඛ්‍ය හා මානුෂීය සේවා දෙපාර්තමේන්තුව විසින් එය ප්‍රතික්ෂේප කර ඇත. කඳවුරේ හදිසි සූදානම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකදී ආරක්ෂක අඩුපාඩු 22ක් පවතින බව පෙන්වා දෙමින් පිටු 11ක සවිස්තරාත්මක වාර්තාවක් බලධාරීන් විසින් නිකුත් කර තිබේ.
මෙහි ඇති ප්‍රධානතම අඩුපාඩු ලෙස නිසි ඉවත් කිරීමේ මාර්ග සිතියම් සකස් කර නොතිබීම සහ හදිසි අවස්ථාවකදී කාර්ය මණ්ඩලය ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ වගකීම් පැහැදිලිව සඳහන් කර නොතිබීම පෙන්වා දිය හැකිය. එමෙන්ම විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට සහාය වීමේ පටිපාටියක් නොමැති වීම සහ කාලගුණ අනතුරු ඇඟවීමේ පද්ධතිය නිරීක්ෂණයට නිසි නිලධාරියෙකු පත් කර නොතිබීම ද බලපත්‍ර ලබා නොදීමට ප්‍රධාන හේතු වී ඇත. මෙම අඩුපාඩු නිවැරදි කර නව සැලසුමක් ඉදිරිපත් කිරීමට කඳවුරු පාලනාධිකාරියට දින 45ක කාලයක් ලබා දී ඇති අතර එතෙක් කඳවුරේ කටයුතු ආරම්භ කිරීමට අවසර හිමි නොවේ.
2025 ජූලි මස 4 වන දින ටෙක්සාස් හි හිල් කන්ට්‍රි ප්‍රදේශයේ ගුවඩාලුපේ ගංගාව පිටාර ගැලීමෙන් සිදුවූ මෙම ශෝකජනක සිදුවීම ඇමෙරිකානු ඉතිහාසයේ හයවන දරුණුතම මිරිදිය ගංවතුර ව්‍යසනය ලෙස වාර්තා වේ. එම ව්‍යසනයෙන් පසු ටෙක්සාස් ප්‍රාන්තය පුරා තරුණ කඳවුරු සඳහා ආරක්ෂක රෙගුලාසි දැඩි කර ඇති අතර නියමිත ප්‍රමිතීන්ට අනුකූල නොවන කිසිදු කඳවුරකට මෙවර ගිම්හානයේදී බලපත්‍ර ලබා නොදීමට රජය දැඩි තීරණයක් ගෙන ඇත. Camp Mystic බලධාරීන් දැනට මෙම නව නීතිමය තත්ත්වයන් පිළිබඳව නිරීක්ෂණය කරමින් සිටින බව වාර්තා වේ.














