හැටන් සිට බගවන්තලාව හරහා බලංගොඩ දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් ඊයේ අනතුරකට ලක්විය. බගවන්තලාව, කැම්පියන් වත්ත ප්‍රදේශයේ අධික බැවුමක් සහිත ස්ථානයකදී බස් රථය ධාවනය වෙමින් තිබියදී, එහි ඉදිරිපස දකුණු රෝදයේ ‘බෝල්ට් ජොයින්ටය’ (Ball Joint) කැඩී යාමෙන් රෝදය ගැලවී ගොස් තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථයේ රියදුරා වහා ක්‍රියාත්මක වී සියලුම තිරිංග පද්ධති (Brakes) යොදා බස් රථය පාලනය කර නතර කර ගැනීමට සමත්ව ඇත. මේ හේතුවෙන් බස් රථයේ ගමන් ගත් මගීන් රැසකට සිදුවන්නට ගිය මාරක අනතුරක් වැළකී ගියේය.
මෙම මාර්ගය ඉතා පටු බැවින්, අනතුරට පත් බස් රථය මාර්ගය හරස් වන සේ නතර වීම නිසා එම මාර්ගයේ ගමනාගමන කටයුතු පැය 8ක පමණ කාලයක් සම්පූර්ණයෙන්ම ඇනහිට තිබුණි. පසුව දොඹකරයක් ආධාරයෙන් බස් රථය ඉවත් කිරීමෙන් අනතුරුව ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත් වූ බව බගවන්තලාව පොලිසිය සඳහන් කරයි.














