පසුගිය සැප්තැම්බර් 01 වන දින තලංගම පොලිස් වසමේ තලවතුගොඩ ප්රදේශයේ පෞද්ගලික ආයතනයකට ඇතුළු වූ නාඳුනන පුද්ගලයින් තිදෙනෙකු මන්නා පිහි පෙන්වා සේවකයින් බියගන්වා රුපියල් 64,995,000ක මුදලක් සහ රුපියල් 11,250,000ක් වටිනා රන් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණු දිසා අපරාධ කොට්ඨාසය විසින් පුළුල් විමර්ශනයක් සිදු කර තිබේ.
ඒ අනුව, මෙම අපරාධය සිදු කිරීම සඳහා සැකකරුවන් පැමිණි කාර් රථයේ රියැදුරු ලෙස කටයුතු කළ කඩුවෙල වැලිවිට ප්රදේශයේ පදිංචි 49 හැවිරිදි සැකකරු ඊයේ (09) දහවල් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුගෙන් සිදුකළ ප්රශ්න කිරීම්වලදී කොල්ලකන ලද මුදල් බෙදාගෙන ඇති බව අනාවරණය වී ඇති අතර, ඔහුට හිමි වූ මුදලින් රුපියල් 16,200,000ක මුදලක් නිවසේ සඟවා තිබියදී සහ වෙනත් පුද්ගලයෙකුට ලබා දී තිබියදී පොලිසිය විසින් භාරයට ගෙන තිබේ. තවද, මෙම අපරාධය සඳහා යොදාගත් ව්යාජ අංක තහඩු යෙදූ කාර් රථය හංවැල්ල ප්රදේශයෙන් සොයා ගැනීමටද පොලිසිය සමත්ව ඇත.














