ඉන්දියාවේ සුපිරි නළු තලපති විජේගේ දේශපාලන ආගමනයත් සමඟ තමිල්නාඩු ප්‍රාන්ත දේශපාලනය දැවැන්ත උඩුයටිකුරු වීමකට ලක්ව ඇති බව නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි. ‘ඇක්සිස් මයි ඉන්දියා’ (Axis My India) ආයතනය විසින් නිකුත් කරන ලද මැතිවරණ අනාවැකිවලට අනුව විජේගේ ‘තමිලග වෙට්රි කලගම්’ (TVK) පක්ෂය මෙවර මැතිවරණයේදී තීරණාත්මක බලවේගයක් බවට පත්ව තිබේ.
‘ඇක්සිස් මයි ඉන්දියා’ දත්තවලට අනුව තලපති විජේගේ පක්ෂය තමිල්නාඩු ව්‍යවස්ථාදායක සභා මැතිවරණයේදී ආසන 98 සිට 120 දක්වා ප්‍රමාණයක් දිනා ගනු ඇති බවට පුරෝකථනය කර ඇත. මෙම අනාවැකිය සැබෑ වුවහොත් එය වත්මන් පාලක ඩීඑම්කේ (DMK) පක්ෂයට සහ ඒඅයිඒඩීඑම්කේ (AIADMK) සන්ධානයට දැවැන්ත අභියෝගයක් එල්ල කරමින් ප්‍රාන්ත දේශපාලනය නව යුගයකට ගෙන යනු ඇත. 2019 ඉන්දීය මහ මැතිවරණයේදී ද නිවැරදි පුරෝකථනයන් සිදු කළ ඇක්සිස් මයි ඉන්දියා ආයතනය මෙවර විජේගේ පක්ෂය අවම වශයෙන් ආසන 98ක් දිනා ගැනීම අසාමාන්‍ය ජයග්‍රහණයක් වනු ඇති බව පෙන්වා දෙයි.
අප්‍රේල් 23 වන දින පැවති මෙම ඡන්ද විමසීමේදී තමිල්නාඩුව පුරා සියයට 85ක ඉහළ ඡන්ද ප්‍රතිශතයක් වාර්තා වී තිබේ. තමිල්නාඩුවේ සමස්ත මැතිවරණ කොට්ඨාශ 234 සඳහාම පැවැති මෙම මහ මැතිවරණයේ නිල ඡන්ද ප්‍රතිඵල ලබන මැයි 4 වන සඳුදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. ඉන්දියාවේ අනෙකුත් ප්‍රාන්තවල මැතිවරණ කටයුතු තවමත් සිදුවෙමින් පැවතීම හේතුවෙන් ප්‍රතිඵල නිකුත් කිරීම මෙලෙස ප්‍රමාද වන බව වාර්තා වේ.














