මිතුරන් තිදෙනෙකුගේ මත්පැන් සාදයකින් පසු මතු වූ පැරණි කෝන්තරයක් මුල් කරගනිමින්, කුළුගෙඩියකින් පහරදී තරුණයෙකු ඝාතනය කර සිරුර අඩක් පුළුස්සා කැලෑබද ප්රපාතයකට විසිකර තිබූ කුරිරු අපරාධයක් තලාතුඔය පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබේ. මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ තලාතුඔය, බව්ලාන ප්රදේශයේ පදිංචිව සිටි 30 හැවිරිදි ශාන්ත සංජය බණ්ඩාර නැමැති තරුණයෙකි.
අතුරුදහන් වූ තරුණයා සම්බන්ධයෙන් ඔහුගේ බාල සොහොයුරා කළ පැමිණිල්ලකට අනුව ක්රියාත්මක වූ පොලිසිය, ප්රදේශයේම පදිංචි 30 හැවිරිදි සැකකාර තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මියගිය තරුණයා විසින් සැකකරුවෙකුගේ පියාගේ නීතිවිරෝධී මත්පැන් ජාවාරමක් පොලිසියට කොටුකර දෙන ලද්දේ යැයි ඇති වූ සැකය මත මෙම ඝාතනය සිදු කර ඇති බව ප්රශ්න කිරීමේදී අනාවරණය වී තිබේ.
සිද්ධිය වූ දින මත්පැන් සාදයෙන් පසු මියගිය තරුණයා හේන් භූමියකට කැඳවාගෙන ගොස් කුළුගෙඩියකින් හිසට පහරදී මරා දමා, පසුව ලී කැබලි යොදා සිරුර අඩක් පුළුස්සා රෙදි කඩක ඔතා කැලෑබද ප්රපාතයකට විසිකර ඇති බව සැකකරුවන් පාපොච්චාරණය කර ඇත. සැකකරුවන් පෙන්වූ ස්ථානයෙන් අඩක් පිළිස්සී නරක් වෙමින් තිබූ මළ සිරුර සොයාගෙන ඇති අතර, මහනුවර දිසා මහේස්ත්රාත් අධිකරණයේ වැඩබලන මහේස්ත්රාත් මහින්ද ලියනගේ මහතා විසින් ස්ථානීය පරීක්ෂණය සිදු කිරීමෙන් පසු සිරුර මහනුවර ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයට යොමු කර තිබේ. තලාතුඔය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.














