හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුතුන් වන යෝෂිත රාජපක්ෂ සහ රෝහිත රාජපක්ෂ යන අයට අයත් බව කියන නාවලපිටිය, දොලොස්බාගේ ප්රදේශයේ පිහිටි අක්කර 135ක තේ වත්තක් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ විමර්ශන කොට්ඨාසය තීරණය කර තිබේ. ‘අල්ලස, දූෂණය, නාස්තියට එරෙහි පුරවැසි බලය’ සංවිධානයේ සභාපති ජාමුණි කාමන්ත තුෂාර මහතා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම පරීක්ෂණ ක්රියාත්මක වේ.
2021 දෙසැම්බර් මස 11 වැනි දින ‘ඔසා ප්ලාන්ටේෂන්’ (Osa Plantations) සමාගමේ අධ්යක්ෂ ධුර සඳහා වෙනත් පුද්ගලයන් තිදෙනෙකු ඉදිරියට දමා, සැබෑ හිමිකාරීත්වය වසන් කරමින් මෙම දේපළ අත්පත් කරගෙන ඇති බවට අදාළ පැමිණිල්ල මඟින් චෝදනා කර ඇත. එසේම, CSN නාලිකාව හරහා මුදල් විශුද්ධිකරණය කරමින් සහ රාජ්ය බලය අයුතු ලෙස යොදා ගනිමින් උපයාගත් අරමුදල් භාවිත කරමින් මෙම වතුයාය මිලදී ගෙන ඇති බවට ද චෝදනා එල්ල වී තිබේ. මේ සම්බන්ධයෙන් ලේඛනගත සාක්ෂි සහිතව ප්රකාශයක් ලබා දීම සඳහා මෙම මස 14 වැනි දින පෙනී සිටින ලෙස පැමිණිලිකරුට විමර්ශන කොට්ඨාසය විසින් දැනුම් දී ඇත.














