දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැති 41 වැනි වෙළෙඳ සේවා මලල ක්‍රීඩා තරගාවලියේදී අතිවිශිෂ්ට දක්ෂතා දැක්වීමට ‘ක්‍රිස්ටල් මාටින් සිලෝන්’ ආයතනය නියෝජනය කළ තමාරා කුමාරි බණ්ඩාර සමත් වී තිබේ.
ඇය මෙහිදී මීටර් 100, මීටර් 200 සහ දුර පැනීම යන තරග ඉසව්වලින් රන් පදක්කම් ත්‍රිත්වයක් දිනා ගැනීමට සමත් වූ අතර, තමන් තරග වැදුණු වයස් කාණ්ඩයේ දැක්වූ විශිෂ්ට දක්ෂතා නිසා තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසද සම්මානයට පාත්‍ර වූවාය. ඇය මෙම දක්ෂතම ක්‍රීඩිකා සම්මානය දිනාගත් අඛණ්ඩ 5 වැනි වසර මෙය වීම විශේෂත්වයකි.
තම ජයග්‍රහණය පිටුපස සිටි ආයතන ප්‍රධානී මාර්ක් මුලර් මහතාගෙන් ලැබුණු සහයෝගය මෙන්ම, පුහුණුකරු චන්දන අමරසිංහ මහතා ලබාදුන් මඟපෙන්වීම ඇය කೃತඥතාපූර්වකව සිහිපත් කළාය.














