සංවිධානාත්මක අපරාධකරුවකු ලෙස හඳුනාගෙන ඇති ‘තැඹිලි ළහිරු’ නැමැත්තාගේ මිද්දෙණිය, කුඩගල ආර, ජුලම්පිටිය ප්‍රදේශයේ පිහිටි නිවෙසට ඊයේ (08) රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් ගිනි තබා ඇතැයි මිද්දෙණිය පොලිසිය පවසයි.
මේ වන විට තැඹිලි ළහිරු නමැත්තා බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින අතර, ඔහු ඉන්දුනීසියාවේ සැඟව සිටියදී මෙරටට රැගෙන ආ අයෙකි. තැඹිලි ළහිරු සහ ඔහුගේ පවුලේ අය මින් පෙර මෙම නිවෙසේ ජීවත්ව සිටිය ද, පසුගිය කාලයේ කිසිවකු එහි වාසය කර නොමැති බව පොලිසිය සඳහන් කරයි. කෙසේ වෙතත්, ඔහුගේ මව පමණක් ඉඳහිට එම නිවෙසට පැමිණ යන බවට වාර්තා වී ඇත. ගින්නෙන් කිසිදු අයකුට හානියක් සිදුව නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මිද්දෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
















