තණමල්විල, ගගේයාය ප්‍රදේශයේදී ඊයේ (01) සිය සහෝදරයා ඉලක්ක කර ගනිමින් වෙඩි තැබූ සැකකරුවෙකු තණමල්විල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පුද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත. කෙසේ වෙතත්, වාසනාවකට මෙන් මෙම වෙඩි ප්‍රහාරයෙන් කිසිවෙකුටත් ශාරීරික හානියක් සිදුව නොමැත.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී වෙඩි තැබීම සඳහා යොදා ගත් බවට සැක කෙරෙන මෙරට නිෂ්පාදිත ගිනි අවියක් ද පොලිස් භාරයට ගෙන තිබේ. මෙම සහෝදරයන් දෙදෙනාම මීට පෙර ද විවිධ අපරාධ චෝදනා සම්බන්ධයෙන් පොලිස් අවධානයට ලක්වූවන් බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරු අද (02) දිනයේ වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, තණමල්විල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
















