වයස අවුරුදු 11න් පහළ ලෝක මේස පන්දු ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ පසු වන ශ්‍රී ලංකාවේ බිහි වූ දක්ෂතම යොවුන් ක්‍රීඩක තාවි සමරවීර, සිය යුරෝපා තරග සංචාරය නිමා කරමින් අද (18) උදෑසන මව්බිමට පැමිණියේය. ඔහු මෙම සංචාරයේදී ජාත්‍යන්තර තරගාවලි ද්විත්වයකදී රන්, රිදී සහ ලෝකඩ පදක්කම් දිනා ගනිමින් ශ්‍රී ලංකා මේස පන්දු ඉතිහාසය නැවතත් අලුත් කිරීමට සමත් විය.
ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ 6 ශ්‍රේණියේ ඉගෙනුම ලබන 11 හැවිරිදි තාවි, කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් සිය මව සමඟ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර, එහිදී ඔහු දැක්වූ සුවිශේෂී දක්ෂතා මෙසේය:
කොසෝවෝ තරගාවලිය: 11න් පහළ අංශයෙන් රන් පදක්කම සහ 13න් පහළ අංශයෙන් රිදී පදක්කම දිනා ගත්තේය. ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු මෙම වයස් කාණ්ඩ දෙකෙහිම අවසන් මහා තරගවලට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙය විය.
නෝර්වේ තරගාවලිය: 13න් පහළ අංශයෙන් ලෝකඩ පදක්කම දිනා ගත් අතර, තමන්ට වඩා වයසින් වැඩි ක්‍රීඩකයන් තරග වැදුණු 15න් පහළ අංශයේ “හොඳම ක්‍රීඩකයන් 08 දෙනා” අතරට පැමිණීමට ද ඔහු සමත් විය.
ලෝක මේස පන්දු ශ්‍රේණිගත කිරීම්වල 11න් පහළ අංශයේ පෙරමුණේ පසුවන තාවි, දකුණු ආසියානු කලාපයේ ද මේස පන්දු ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු ලෙස මේ වන විට බිහිව සිටී. ලාබාල වයසේදී මෙවැනි අසහාය ජයග්‍රහණ අත්කර ගනිමින් රටට ගෞරවයක් ගෙන දෙන තාවි සමරවීරගේ ඉදිරි ක්‍රීඩා දිවිය උදෙසා අපි සුබ පැතුම් එක් කරමු.
















