27 April 2024
#දේශීය

ආයුර්වේද ශික්ෂණ රෝහලේ 08 මහල් වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට පත් කරයි

රටේ පුරවැසියාට බරක් නොවන අයුරින් ආයුර්වේද ප්‍රතිකාර මුලික කරගත් විදේශීය විනිමය උපයාගැනීමේ වැඩපිළිවෙළක් සැකසීම තුළින් ආර්ථීක උත්පාදනයන් ඇති කළ හැකි බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

ලොව බොහෝ රටවල් සංචාරක ක්ෂේත්‍රය මෙන්ම දේශීය ආයුර්වේද ක්‍රම භාවිතා කරමින් ක්‍රියාත්මක කරන සෞඛ්‍ය සේවාවන් හරහා විශාල විදේශීය විනිමයන් උපයා ගන්නා බවද සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසිය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (24) දින රුපියල් මිලියන 1,906 ක වියදමින් ඉදිකල බොරැල්ල ජාතික ආයුර්වේද ශික්ෂණ රෝහලේ 08 මහල් වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

මෙරට ප්‍රධානතම ආයුර්වේද ජාතික රෝහල වන බොරැල්ල ජාතික ආයුර්වේද ශික්ෂණ රෝහලේ නව ඉදිකිරීම් නිසාවෙන් රෝගීන් 360 දෙනෙකු සදහා නේවාසික පහසුකම් ලබාගත හැක.
2008 වසරේ දී එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව ආයුර්වේද රෝහල් පද්ධතිය නවීනත්වයට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීමේ වැඩපිළීවෙල යටතේ බොරැල්ල ජාතික ආයුර්වේද ශික්ෂණ රෝහල අදියර 03 ක යටතේ සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක විය.

රෝග ප්‍රතිකාර සේවාවන් සදහා වන වෛද්‍යවරුන් 120 ක්, හෙද හා සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලින් යුක්ත වන බොරැල්ල ජාතික ආයුර්වේද ශික්ෂණ රෝහලේ මෙම නේවාසික වාට්ටු සංකීර්ණය පොරොත්තු වාට්ටු, ශල්‍ය වාට්ටු සහ ස්ත්‍රී රෝග වාට්ටු වලින් ද යුක්තය. මෙම රෝහල මගින් කොළඹ විශ්ව විද්‍යාලයේ ආයුර්වේද වෛද්‍ය සහ යුනානි උපාධිය හදාරන සිසුන් ඇතුලු මෙරට සියළු විශ්ව විද්‍යාලවලින් උපාධිය හදාරන ආයුර්වේද සහ යුනානි සිසු දරු දැරියන්ට සීමාවාසික පුහුණුව සදහා පහසුකම් ද සපයා දෙනු ලැබේ.

මෙම අවස්ථාවට දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ, සිසිර ජයකොඩි, එම අමාත්‍යාංශයේ ලේකම් ඒ.කේ.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.එන්.කේ. වීරසේකර, ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන, බොරැල්ල ජාතික ආයුර්වේද ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ ශාන්ති කුඹූරේගෙදර යන මහත්ම මහත්මින් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *