27 April 2024
#දේශීය

ගෝඨාභය, දැන් ඔයගොල්ලො ඇති බැහැලා යන්න – ජවිපේ අනුර

ගෝඨාභය, දැන් ඔයගොල්ලො ඇති බැහැලා යන්න මේ රට විනාශයට පත් කරන ලද, ජනතාව පීඩාවට හෙළන ලද මේ පාලකයන් සමග අපට රට හදන්න සාකච්ඡාවක් නොමැති බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා පවසයි.

ආණ්ඩුවට එරෙහිව ඊයේ (23) නුගේගොඩ පැවැති රැලියකදී දිසානායක මහතා කියා සිටියේ 74 වසරක සාපයේ දිගුවකට ඉඩ නොතබා නව ජනතාවාදී පාලනයක් පිහිටුවිය යුතු බවයි.

එහිදී දිසානායක මහතා මෙසේ අදහස් පල කලේය “රටේ ජනාධිපතිවරයාත්, මුදල් ඇමතිවරයාත් විදේශිකයිනුයි. ගෝඨාභය නාමිකව පුරවැසිභාවය ඉවත් කර ගත් බව කිවුවත් ඔහුගේ බිරිඳට ඇමරිකානු පුරවැසිභාවය තිබෙන නිසා ඕනෑම මොහොතක එය ලබා ගත හැකියි. මහජනයාගේ සම්පත්, දේපළ විදේශිකයන්ට පවරා දෙන මේ ආණ්ඩුව පලවා හැරිය යුතුයි. ඔවුන් ඕනෑම අවදානමකදී ඇමරිකාවට පලා යෑමේ අපේක්ෂාවෙන් සිටිනවා. නමුත් මෙහි රැස්ව සිටින සියලු දෙනා මේ මහපොළොවේ ඉපදී මෙහිම පොළොවට පස්වීමට සිටින අයයි. ඒ නිසාම මේ රටේ මහජන සම්පත් හා මහපොළොව පිළිබඳව සුජාත අයිතියක් අපට තිබෙනවා. ඒ නිසා මේ විනාශය වැළැක්වීම සඳහා මේ පාලකයන් පලවා හැරිය යුතුයි. මේ ආණ්ඩුව පලවා හැරීම මෙන්ම නැවත 74 වසරක දේශපාලනයේ දිගුවකට ඉඩ නොදීමේ වගකීමක් අපට තිබෙනවා. ඒ වෙනුවෙන් මේ රටේ ශක්තිමත්ම මහජන ව්‍යාපාරයක් ගොඩනැගිය යුතුයි. හුදු ආණ්ඩුවක් පිහිටුවීම පමණක් ප්‍රමාණවත් නැහැ. රටේ නිෂ්පාදන ආර්ථිකය නැංවිය යුතුයි. රට මෙන් අට ගුණයක් වන මුහුද ප්‍රයෝජනයට ගත යුතුයි. වටිනා වෙරළ තීරය ප්‍රයෝජනයට ගත යුතුයි. රටේ ස්වාභාවික සම්පත්වලින් ප්‍රයෝජන ගත යුතුයි. ඉහළ සිට පහළ දක්වා රට වෙනුවෙන් වැඩ කිරීමට, කැපවීමට සූදානම්, ඒ වෙනුවෙන් වැඩපිළිවෙළක් සහිත මහජන ව්‍යාපාරයක් අවශ්‍යයි. පවතින ව්‍යසනකාරී පාලනය පලවා හැරීමෙන් පසු නව ජනතාවාදී පාලනයක් පිහිටුවිය යුතුයි. පවතින පාලනය පලවා හැරීමට පක්ෂ පාට භේදයෙන් තොරව මැදිහත් වන මහජන ව්‍යාපාරය, රට ගොඩනැගීමටද මැදිහත් විය යුතුයි. ජාතික ජන බලවේගයේ මූලිකත්වයෙන් ගොඩනැගෙන එම පුළුල් මහජන ව්‍යාපාරයේ කොටස්කරුවන් වීමට දේශයට ආදරය කරන සියලු දෙනාට ආරාධනා කරනවා. යැයි දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *