27 April 2024
#දේශීය

ඇහැලේපොල වලව්ව මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැවරීමට අදාල කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කෙරේ

‍‍ඓතිහාසික ඇහැලේපොල වලව්ව මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත පවරාදීමට අදාළ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඒ අනුව ඊට අදාළ කැබිනට් පත්‍රිකාව පසුගියදා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබිණ.

මහනුවර රජවීදියේ පිහිටි ඇහැළේපොළ වලව්ව ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ පාලන සමයේදී ඇහැලේපොල මහ අධිකාරම් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ජීවත්වූ නිවසයි.

එය ඇහැලේපොළ වලව්ව, රිමාන්ඩ් බන්ධනාගාරය හා බන්ධනාගාර නිල නිවාසය ලෙස ගොඩනැඟිලි තුනකින් සමන්විත වේ.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ අභීත සිංහලයන් රැසකට සෙවණ දුන් මෙම ඓතිහාසික ඇහැලේපොළ වලව්ව තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාරයක් ලෙසින් පවත්වාගෙන යෑම අපරාධයක් බවයි.

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ දී (ක්‍රි.ව1844) මෙය හමුදා බැරැක්කයක් ලෙස භාවිතයට යොදාගෙන තිබු අතර පසුකාලීනව සිර මැදිරියක් හා බෝගම්බර රිමාන්ඩ් බන්ධනාගාරයක් ලෙස මෙම වලව්ව පවත්වාගෙන යනු ලැබිණි.

‍‍ඓතිහාසික ඇහැලේපොල වලව්ව මහනුවර ශ්‍රී දළදා මාළිගාව ආශ්‍රීත පූජාභූමි ප්‍රදේශය තුළ පිහිටා ඇති අතර 2005 වසරේදී පුරා විද්‍යා ගොඩනැඟිල්ලක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

මහනුවර නගර සංවර්ධන සැලැස්ම යටතේ ඇහැලේපොළ වලව්ව නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරනු ලැබුණි.

අනතුරුව නාගරික සංවර්ධන අධිකාරිය විසින් මෙහි ප්‍රතිසංවර්ධන කටයුතු ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත 2014 දී භාර දෙනු ලැබිණි.

ඒ අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ නාගරික සංවර්ධන අධිකාරියේ උපදෙස් හා මෙහෙයවීම් මත නාගරික සංවර්ධන අධිකාරියේ අරමුදලින් රුපියල් මිලියන 154.8ක් වැය කර මෙම වලව්වේ ප්‍රතිසංවර්ධන කටයුතු සිදුකර ඇත. එහි ප්‍රතිසංවර්ධන කටයුතු අවසන් කර මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත පැවරීමට මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කෙරිණි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *