27 April 2024
#සංවර්ධන

පිත්තල කර්මාන්තය සදහා නව තාක්ෂනය එක්කිරීමට මධ්‍යම ආණ්ඩුකාරවරයා මැදිහත් වෙයි

 

පිත්තල කර්මාන්තයේ තිරසාර සංවර්ධනය සදහා පවතින බාධා සම්බන්ධයෙන් සහ ව්‍යවසායකයින්ගේ ගැටළු සහ ඒ සදහා විසදුම් හඳුනාගනිමින් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ යෝජනාවකට අනුව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා (15) කටයුතු කලේය.

ඒ අනුව මහනුවර කිරිවවුල පිත්තල ගම්මානයේ ක්ෂේත්‍ර චාරිකාවක නිරතවෙමින් පිත්තල කර්මාන්තකරුවන් මුණගැසී ඔවුන් මුහුණදෙනු ලබන ගැටලු සම්බන්ධයෙන් විමසීම සදහා කටයුතු කළ ආණ්ඩුකාරවරයා, ඉදිරිපත් වු ගැටලු සම්බන්ධයෙන් අදාල අංශ ඒකාබද්ධ වෙමින් කඩිනම් විසදුම් ලබාදීමත් මෙම පාරම්පරික කර්මාන්තය රැක ගැනීම සඳහා තාරුණ්‍යය කර්මාන්තය වෙත යොමුකිරීම් හා තාක්ෂණය භාවිතා කිරීමේ අවශ්‍යතාවය ද පෙන්වාදීම සිදුවිය.

මෙහිදී මින් පෙර අවස්ථාවක තම මැදිහත්වීමෙන් ගත් ක්‍රියාමාර්ග පිලිබද කර්මාන්ත කරුවන් දැනුවත් කිරීම සිදුවූ අතර එකී සමහර ගැටළු නිරාකරණය සදහා ඒකාබද්ද ජාතික වැඩපිළිවෙළක අවශ්‍යතාව මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් ඒ මහතා පැහැදිලි කිරීම සිදුකරන ලදී.

මෙහිදී විශේෂ තාක්ෂණ අවශ්‍යතාව පිලිබද පළාත් කර්මාන්ත අමාත්‍යාංශයේ සම්පත් දායක පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විශ්‍රාමික මහාචාර්ය සරත් සෙනවිරත්න මහතා විශේෂ දේශනයක් ඉදිරිපත් කළ අතර අවම අමුද්‍රව්‍ය හා සම්පත් භාවිතයක් තුළින් වෙළඳ පල ඉල්ලුමට සරිලන නිමාවකින් යුත් නිෂ්පාදන එළි දැක්වීම සඳහා තවමත් පාරම්පරික කර්මාන්ත යොමුවී නොමැති කම නිසාවෙන් විදේශීය අදේශිත භාණ්ඩ සඳහා වෙළඳපලක් ලංකාව තුල නිර්මාණය වි ඇති බවත් ඒ නිසා වෙළඳපල අභියෝගය ජය ගැනීම සදහා තාක්ෂණය භාවිතා කිරීම අත්‍යවශ්‍ය බවත් කර්මාන්ත කරුවන් වෙත ඉදිරිපත් කරන ලද අතර මෙහිදී කර්මාන්තකරුවන් විසින් තමන් වෙත තාක්ෂණය සම්ප්‍රේශණය කිරීමේ ක්‍රමවේදයක් සැකසීම අවශ්‍ය බව මතු කළේය. පිත්තල ආශ්‍රිත කර්මාන්තයේ ප්‍රගමනයට අවශ්‍ය තාක්ෂනික පුහුණු හා යන්ත්‍රෝපකරණ පිලිබද අධ්‍යයනය කිරීම සඳහා විශේෂ කමිටුවක් ස්ථාපනය කිරීමට මෙහිදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා කටයුතු කළේය.

කර්මාන්තයේ තිරසාර සංවර්ධනය සදහා පවතින අමුද්‍රව්‍ය හිඟය, විදුලි බිල සම්බන්ධ ඔවුන් මුහුණ දෙන ගැටළු මෙන්ම ව්‍යාපාර වාර්ෂික ලියාපදිංචිය සඳහා ඇති කාර්මික මණ්ඩලයේ අවශ්‍යතාවත් වැනි ගැටලු සාකච්ඡාවට බඳුන් වු අතර, මෝස්තර මධ්‍යස්ථානය, කාර්මික සංවර්ධන මණ්ඩලය, පළාත් කර්මාන්ත අමාත්‍යාංශය ඒකාබද්ධව මෙකී කරුණු අධ්‍යනයකින් නිසි විසදුම් ලබාදීමටත් ඉන් ඔබ්බට ජාතික මට්ටමේ විසදීමට ඇති ගැටළු පිළිබදව ගරු ජනාධිපතිවරයා සමග පිත්තල කර්මාන්තයේ හෙට දවස වෙනුවෙන් කර්මාන්ත කරුවන් සමඟ සාකච්ඡාවක් ලබාදීම පිලිබද කටයුතු කිරීම ඇතුළු අවශ්‍ය කර්යයන් තමා සිදුකරන බව ද මෙහිදී පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේය.

පිත්තල කර්මාන්තය පවත්වාගෙන යනු ලබන ස්ථාන කිහිපයක් නිරීක්ෂණය කිරීමද එම ආයතන වල භාවිතා කරන තාක්ෂණයන් පිලිබද අධ්‍යනය කිරීම සදහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා කටයුතු කළේය.

පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, පළාත් කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් උපාලි රණවක, ප්‍රාදේශීය ලේකම්, පළාත් කර්මාන්ත අධ්‍යක්ෂක උදාර කොන්සිවත්ත මහතාඒ, මෝස්තර මධ්‍යස්ථානය, කාර්මික මණ්ඩලය, අපනයන වාණිජ මණ්ඩලය ඇතුලු ආයතන රැසක නිලධාරීන් පිරිසක් හා පිත්තල කර්මාන්තකරුවන් ඇතුලු පිරිසක් ද මෙම වැඩසටහන සදහා එක් විය.

 

 

මහේෂ් – මාතලේ

Leave a comment

Your email address will not be published. Required fields are marked *