27 April 2024
#දේශීය

රට දැන් අර්බුදය ත්‍රිත්වයකට මුහුණ දෙන බව මන්ත්‍රී ඉරාන් කියයි

කොරෝනා වසංගතය සහ ආර්ථිකය පිළිබඳ වැරදි හා දුර්වල කළමනාකාරණයට සමග රට දැන් අර්බුදය ත්‍රිත්වයකට මුහුණ දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ විපක්ෂ නායක කාර්යාලයේ අද (05) පැවැති මාධ්‍ය හමුවේදිය.

මෙරට දැන් 1977ට ප්‍රථම පැවති භාණ්ඩ හිඟ හා පෝලිම් යුගය කරා තල්ලු කර තිබෙන අතර සුපිරි වෙළෙඳ සැල්වල කුණු බක්කි වලින් ආහාර එකතු කරන ඛේදජනක තත්වය ට ජනතාව පත්ව ඇතැයි සඳහන් කළේය.

මන්ත්‍රීවරයා පැවසුවේ රජය සිය නොහැකියාව හේතුවෙන් රටේ ත්‍රිත්ව අර්බුදයක් ඇතිකිරීමේ ප්‍රතිඵලයක් ලෙස ජනතාව අද දුප්පත්කමේ පතුලටම කිඳා බැස ඇතැයි ද එහෙත් රජයේ ගජ මිතුරන්ට නම් රජ සැප ලබාදෙන ක්‍රමයක් රජය හඳුන්වා දී ඇති බවයි.

බොරුව හා මිත්‍යාව මතින් ආර්ථිකය කළමනාකරණය කරන්නට බැහැ, කෝවිඩ් එන්නත වෙලාවට ඇනවුම් කර තිබුණේ නම් අඩු මිලට සියලු ජනතාවට එන්නත්කරණය කර අද රට පත්වෙලා තිබෙන වැඩිම පිරිසක් දෛනිකව මිය යන තත්ත්වයෙන් රට බේරා ගැනීමට අවස්ථාවක් තිබිණි. එමෙන්ම කෝරෝනාව නිසා වැඩිම කාලයක් පාසැල් වසා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ පමණක් යැයිද හෙතෙම අවධාරණය කළේය

මේ රජය ජනතාවගේ සුඛවිහරණය සඳහා කළ දෙයක් නැතැයි කී මන්ත්‍රීවරයා එහෙත් රජය තම ගජමිතුරු ව්‍යාපාරිකයන්ට ලාභ පිට ලාභ ගැනීමට අවස්ථාව දෙමින් හදිසි නීතිය ද ඒ සඳහා භාවිතයට ගෙන ඇති බව ඔහු අනාවරණ කළේය.

එස්පී සහනය යටතේ මත්ස්‍ය සහ ඇඟලුම් අපනයනය ට අමතරව සුළු හා මධ්‍යම පරිමාණයේ කර්මාන්ත කරුවන් හට ද තම නිෂ්පාදන අපනයනය කිරීමට අවස්ථාව තිබෙන බැවින් අනාගත සමගි ජන බලවේගය රජයකින් ආර්ථිකය නංවාලීමේ වැඩපිළිවෙළ යටතේ සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත වලට මුල්තැන දීමට තීරණය කර ඇතැයි ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *