27 April 2024
#දේශීය

බියගුළු ආණ්ඩුව මර්ධන නීති ගෙනවා – විපක්ෂනායක සජිත්

වර්තමානයේ රට තුළ ඇත්තේ විකෘත්තියත් ප්‍රකෘතියත් අතරත්, අශිෂ්ටත්වයත් ශිෂ්ටත්වයත් අතරත් මිලේච්ඡත්වයත් ජන සම්මතවාදයත් අතරත් ගැටුමක් බවත් එවැනි විකෘතියක් සිදුව ඇත්තේ විකෘති ආණ්ඩුව නිසා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් කටුගම්පල ආසනයේ ආසන බලමණ්ඩල රැස්වීමට එක් වෙමිනි.

රාජපක්ෂලාගේ අශිෂ්ට පාලනයට එරෙහිව නැගී සිටි ජනතාව විසින් ඔවුන් ප්‍රතික්ෂේප කර එලවා දැමූ පසු මේ වන විට රාජපක්ෂ රූකඩයක් බලයේ සිටින බවත් එම රූකඩ රජය පොදු ජනතාවට මෙන් ම මැතිවරණ සඳහා ද බිය වී ඇති බවත් එම බය නිසාම විවිධ නීති රීති තහංචි ගෙනවිත් ජනතාව පීඩාවට පත් කළත් විපක්ෂයක් ලෙස සහ සමගි ජන බලවේගය ලෙස ඔ්නෑම අවස්ථාවක මැතිවරණයක් සඳහා සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

කෘෂි, වැවිලි, ධීවර, ස්වයං රැකියා ආදී සෑම ක්ෂේත්‍රයකින්ම ඩොලර් උත්පාදනය කිරීමේ හැකියාවක් පවතින බවත් ආහාරවලින් ස්වයංපෝෂණය වනවා සේම එම ආහාර සඳහා අගය එකතු කිරීමක් සිදුකර අපනයන කටයුතු සිදු කළ යුතු බවත් සමගි ජන බලවේගයේ ඉදිරි දැක්ම එය බවත් හෙතෙම පැවසීය.

ජනමතය නියෝජනය නොකරන වත්මන් ආණ්ඩුවේ 134 දෙනකු රාජපක්ෂ පවුලේ හොරකම් රකින රුකඩ බවට පත්ව ඇති බවත් ඔවුන් විවිධ මර්දන පනත් උපයෝගී කරගෙන ජනතාව මර්දනය කරන බවත් ඔවුන් මෙවැනි රගපෑමක් සිදු කරන්නේ රෝහල්වල බෙහෙත් නොමැති අවස්ථාවක බවත් කීය. , පාසල් සිසුන්ට පෝෂ්‍යදායී අඩංගු අහාර නොමැතිව ක්ලාන්තව  වැටෙන අවස්ථාවක  ඔවුන්ට සහන ලබා දෙනවා වෙනුවට ඒ මුදල්, කදුලු ගෑස් සහ අනෙකුත් මර්දන උපාංග සදහා වැය කරමින් ජනතාව මර්දනය කරමින් සිටින බව ද වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

කදුල උරුම වී ඇති ජනතාවට තව තවත් කදුලු ගෑස් ගසමින් මේ ආණ්ඩුව නටන මේ විගඩම නවත්වා ජනතාවගේ හඩට ඇහුම්කම් දී ජනතාවට සහන සැලසීමට කටයුතු කල යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *