27 April 2024
#දේශීය

තලාව මහා පරිමාණ ගොවිපළහිමිකරුවෙකුගේ මරණය අභිරහසක්

අනුරාධපුර දිස්ත්‍රික්කයේ තලාව පොලිස් වසමේ නබඩවැව ඉඳිගස්පොතාන රක්ෂිතයේ තිබූ අභිරහස් ලෙස මියගිය පුද්ගල මළ සිරුරක් හමු වූ බව තලාව පොලීසිය පවසයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ, තලාව කරගහවැව පදිංචි ආනන්ද දිසානායක නම් පනස් හය හැවිරිදි දෙදරු පියකු බව පොලීසිය තහවුරු කර ගෙන ඇත.මරණකරු කරගහවැව හා ඉදිගස්පොතාන ප්‍රදේශයේ මහා පරිමාණයෙන් වගා කටයුතු සිදු කරමින් සේවකයින් යොදවා ගොවිපළ පවත්වාගෙන යන පුද්ගලයකු බවද පොලීසිය පවසයි.

මරණකරු ඊයේ (06) දහවල් ඉදිගස්පොතාන රක්ෂිතය ආසන්නයේ පිහිටි තම හේනේ සිට දිවා ආහාරය රැගෙන ඒමට පිටවගොස් නැවත හේනට නොපැමිණි බවට සේවකයින් කළ දැනුම් දීම මත මරණකරුගේ ඥාතීන් විසින් ඒ පිළිබඳ සොයා බැලීමේදී මරණයට පත් පුද්ගලයා ගමන් කළ යතුරු පැදිය, ඉදිගස්පොතාන රක්ෂිතය ආසන්නයේම පිහිටි නිවසක ගෙවත්තේ නවතා තිබියදී සොයා ගෙන ඇත.

එම නිවසේ හිමිකරු කියා සිටින්නේ තමන් ගවයින් බැඳීමට ගොස් සිටි බැවින් යතුරු පැදිය ගෙවත්තේ නවතා යනු තමන් නොදුටු බවයි.හවස 5.00 ට පමණ නැවත නිවසට පැමිණෙන විට ආනන්ද දිසානායක මහතාගේ පවුලේ ඥාතීන් පැමිණ සිටි බවත්, ඔවුන්ගේ පියා පැමිණි යතුරු පැදිය එය බවට පැවසූ බවත්ය.

ඒ අනුව මරණකරුගේ පුතු වන කසුන් රසාංග දිසානායක විසින් ඊයේ (06) සවස 07.00 ට පමණ තම පියා පිළිබඳ තොරතුරක් නොමැති බවට තලාව පොලීසියට පැමිණිල්ලක් සිදු කර ඇත.

තලාව පොලීසිය හා ප්‍රදේශවාසීන් එක්ව තලාව, නබඩවැව, ඉඳිගස්පොතාන රක්ෂිතයේ මෙම පුද්ගලයා සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති අතර, ඒ අනුව අද (07) උදෑසන 8.30 ට පමණ ප්‍රධාන මාර්ගයේ සිට කිලෝ මීටරයකට ආසන්න දුරක් රක්ෂිතය තුළට වන්නට තිබී ආනන්ද දිසානායක මහතාගේ මළ සිරුර සොයා ගෙන ඇත.

මළ සිරුර අසල ඔහුගේ ජංගම දුරකථනය හා යතුරු පැදි‌යේ යතුරද තිබූ බවත්, ඔහුට වමනය වී තිබෙනු දැක ගත හැකි වූ බවත් පොලීසිය පවසයි.

ශරීරය තුළ පහරදීම් හෝ කැපුම් කෙටුම් තුවාල හෝ වෙනත් යමක් නිරීක්ෂණය නොවූ බවද මරණයට හේතුව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව හෙළි වනු ඇති බවද පොලීසිය පවසයි.

පවුලේ ඥාතීන් පවසන්නේ, මරණකරු වන ආනන්ද දිසානායක මහතාට පෞද්ගලික තරහාකරුවකු නොසිටි බවත්, ජීවිතක්ෂයට පත්වන තරමේ රෝගාබාධයක් නොතිබුණු බවත්ය.යතුරු පැදිය නවතා රක්ෂිතය තුළ කිලෝ මීටරයකට ආසන්න දුරක් පා ගමනින් යාමට හේතුවක් ආනන්ද දිසසානායක මහතාට නොමැති බැවින් මෙම මරණය සැක සහිත බවද පවුලේ ඥාතීන් පවසති.

අද (07) උදෑසන හා ඊයේ (06) තරමක වර්ෂාපතනයක් එම ප්‍රදේශයට ඇඳ හැලුනු බවත්, එම වර්ෂාවන්ට මෙම මළ සිරුර හසු වී තෙත බරිත වී තිබෙන අයුරුත් දැක ගත හැකි විය.අති විශාල පිරිසක් මෙම මළ සිරුර දැක ගැනීමට රක්ෂිතයට ඇතුළු වන අඩිපාර දිගේ ගමන් කර තිබීම හේතුවෙන් එම මාර්ගය මඩ වගුරක් වී තිබූ අතර, මෙම මරණය ඝාතනයක් වූවහොත් සියලු සාක්ෂි විනාශ වීමේ අවදානමක් පවතින බවද පොලීසිය පැවසීය.

මෙම මරණයට හේතුව ඝාතනයක්ද, නැතහොත් රෝගාබාධයකින් ජීවිතක්ෂයට පත්වීමක්ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන බව පොලීසිය පවසයි.

මේ වන විට අභිරහසක්ව පවතින මෙම මරණය සම්බන්ධයෙන් තලාව පොලීසිය පරීක්ෂණ පවත්වන අතර, තඹුත්තේගම මහේස්ත්‍රාත්තුමන් පැමිණ, ස්ථානීය පරීක්ෂණ සිදු කර මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතය.

 

 

තිසර සමල් – අනුරාධපුර

Leave a comment

Your email address will not be published. Required fields are marked *