27 April 2024
#දේශීය #පුවත්

රාජ්‍ය ආයතන අතර නිසි සම්බන්ධීකරණයක් නොමැති වීමෙන් රටේ සංවර්ධනය අඩාළ වනවා -ඇමති ප්‍රසන්න

රාජ්‍ය ආයතන අතර නිසි සම්බන්ධීකරණයක් නොමැති වීම හේතුවෙන් රටේ සංවර්ධනය අඩාළ වන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පසුගියදා (22) පැවති කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදීය.

කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව එහි සම සභාපතිවරුන් වන කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් සහ වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ රටේ සංවර්ධන ක්‍රියාදාමේදී මධ්‍යම ආණ්ඩුව, පළාත් සභාව සහ පළාත් පාලන ආයතන අතර ඒකාබද්ධ සංවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතු බවයි.

එසේම මධ්‍යම ආණ්ඩුව, පළාත් සභාව සහ පළාත් පාලන ආයතන සංවර්ධන ව්‍යාපෘතිවලට අදාළ යෝජනා සැකසීමේදී ග්‍රාමීය ජනතාවගේ අවශ්‍යතාවය පිළිබඳව සැලකිලිමත් විය යුතු බව හෙතෙම පැවසිය.

දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව හරහා මෙම ආයතන අතර ඒකාබද්ධ සංවර්ධන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍ය බවද ඇමතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ඇතැම් පළාත්වල මධ්‍යම ආණ්ඩුව, පළාත් සභාව සහ පළාත් පාලන ආයතන සංවර්ධන ව්‍යාපෘති සැකසීමේදී එකඟතාවයකින් තොරව ක්‍රියා කිරීම නිසා මහජන නියෝජිතයන් හා අදාළ ආයතන අතර ගැටුම් ඇතිව තිබෙන බවත්, මෙම කඹ ඇදීම හේතුවෙන් ජනතාවට ලැබිය යුතු ප්‍රතිලාභ නොලැබෙන තත්ත්වයක් ඇතිව තිබෙන බවත් ඇමතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩී.බී. හේරත්, ශාන්ත බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජොන්සන් ප්‍රනාන්දු, සුමිත් උඩුකුඹුර, මංජුලා දිසානායක, කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.ආර්. රත්නායක, වයඹ පළාත් සභාවේ ප්‍රධාන ලේකම් රංජිත් ආරියරත්න යන මහත්ම මහත්මීන් සහ රාජ්‍ය නිළධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *