27 April 2024
#දේශීය

ශ්‍රී ලංකාව හරිත ආර්ථිකයක් බවට පත් කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ පළමු අමාත්‍ය සාකච්ඡාව අද පැවැත්විණ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරන ලද දේශගුණ විපර්යාසයන් සඳහා මුහුණ දෙමින් ශ්‍රී ලංකාව හරිත ආර්ථිකයක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ පළමු අමාත්‍ය සාකච්ඡාව අද (16) පැවැත්විනි .

ජනාධිපති කාර්ය සාධක බලකායේ නව සභාපතිවරයා ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පත් කිරීමෙන් පසු පළමු අමාත්‍ය සාකච්ඡාව අද (16) පැවැත්වු අතර මෙම සාකච්ඡාව පරිසර අමාත්‍යාංශයේ දී පැවැති අතර ඊට අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක, ජානක වක්කුඹුර, අරුන්දික ප්‍රනාන්දු යන මහත්වරුන් මෙන්ම ZOOM තාක්ෂණය ඔස්සේ ශෂේන්ද්‍ර රාජපක්ෂ හා මොහාන් සිල්වා අමාත්‍යවරු ද නිලධාරින්ද සහභාගි වූහ. පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙම කාර්ය සාධක බලකායේ ලේකම්වරයා වශයෙන් සාකච්ඡාව මෙහෙයවනු ලැබීය.

මේ අනුව කාර්ය සාධක බලකායට පැවරී ඇති වගකීම් ඉටු කිරීම සඳහා අනුකමිටු 07ක් ලේකම්වරයා විසින් පත් කරනු ලැබීය. ඒ ඒ කමිටුවට සභාපති හා ලේකම් වශයෙන් විෂයබාර අමාත්‍යවරයා හා ලේකම්වරයාද පත් කළ අතර සෑම මසකට වරක්ම මෙම කාර්ය සාධක බලකායේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් පැවැත්වීමටත් ඒ සම්බන්ධ මාසිකව වාර්තාවක් අතිගරු ජනාධිපතිවරයාට ලබා දීමටත් තීරණය විය.

මීලඟ මහකන්නයේ දී හිඟයකින් තොරව පොහොර ලබා දීමේ අවශ්‍යතාවය මෙහිදී අවධාරණය කළ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කර තිබෙන කාබනික ගොවිතැන මෙන්ම වසවිසෙන් තොර ආහාර නිෂ්පාදන වැඩ පිළිවෙළ තුළ වගාව සඳහා අවශ්‍ය වන කාබනික පොහොර හිඟයකින් තොරව ලබා දීමට ප්‍රමුඛත්වය දී පියවර ගත යුතු බවද අවධාරණය කළේය.

එමෙන්ම ගෝලීය උණුසුම වළක්වා ගැනීම සඳහා ශ්‍රී ලංකාව විසින් ලබා දෙන දායකත්වය සඳහා දැනට ක්‍රියාත්මක කර තිබෙන වැඩ සටහන් හා නවතම වැඩසටහන් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවයද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාවට සහභාගි වු සියලුම අමාත්‍යවරු ජනාධිපති කාර්ය සාධක බලකාය මගින් 2030 දක්වා ක්‍රියාත්මක විය යුතු ප්‍රතිපත්තිමය වැඩ සැලැස්මක් සකස් කරන ලෙස ද යෝජනා කළේය. කාර්ය සාධක බලකායේ කාලය වසරකට සීමාවන ලෙස සැළසුම් කළ ද එහි ප්‍රතිපත්තිමය තීරණ ජාතික ප්‍රතිපත්තියක් වශයෙන් ක්‍රියාත්මක විය යුතු බව සියල්ලෝම අවධාරණය කළහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *