27 April 2024
#දේශීය

ආබාධිත තරුණ තරුණියන් සදහා වන පළමු දෙමළ මාධ්‍ය වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය සිසු අයිතියට

සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් ආබාධිත තරුණ තරුණියන්ගේ හැකියාවන් ඔප්නැංවීම සදහා ආරම්භ කර ඇති වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයන්හි 09 වැන්න ලෙස නැගෙනහිර පළාතේ වාලච්චේනෛ මුල්කරගෙන පිහිටවූ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය සිසු අයිතියට පත් කෙරිණී.

ඒ, ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙනි.

වාලච්චේනෛ පිහිටවූ මෙම වෘත්තිය පුහුණු මධ්‍යස්ථානය සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් ආබාධිත දමිළ තරුණ තරුණියන් සදහා ආරම්භ කළ පළමු වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය ලෙස ඉතිහාසයට එක්වෙයි.

මෙහි සංකල්පීය අදහස හිටපු සමාජසේවා අමාත්‍ය එස්.බී.දිසානායක මහතා විසින් 2017 වසරේදී ඉදිරිපත් කර ඇති අතර හිටපු සමාජ සේවා අධ්‍යක්ෂ ප්‍රදීප් යසරත්න මහතා ඊට මැදිහත්ව තිබේ.

රුපියල් මිලියන 141ක මුදලක් වැයකර ඉදිකර ඇති මෙම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය අංග සම්පූර්ණ කාන්තා පිරිමි නේවාසිකාගාරවලින්ද යුක්ත අතර පාඨමාලා පැවැත්වීම සදහා පහසුකම් සහිත පංතිකාමර පද්ධතියකින්ද යුක්තය. මූලික අදියරේ ඇදුම් මැසීමේ පාඨමාලාව සහ ඉලෙක්ට්‍රොනික් පාඨමාලාව ආරම්භ කිරීමට නියමිත අතර ඒ සදහා සිසු සිසුවියන් 40 දෙනෙකු තෝරාගෙන ඇත.

මේ සදහා අවශ්‍ය උපකරණ චයිල්ඩ් ෆන්ඩ් ආයතනය විසින් ලබාදී ඇත. විවිධ ආබාධ සහිත වයස අවුරුදු 16-35ත් අතර අවිවාහක තරුණ තරුණියන්ට මෙහි පාඨමාලා හැදෑරිය හැකි අතර ඒ සදහා නේවාසික පහසුකම්, ප්‍රවාහන පහසුකම්, ආහාරපාන, වෛද්‍ය පහසුකම් හා දෛනික පැමිණීමේ දීමනාවක් මෙන්ම පුහුණුව අවසානයේ මෙවලම් කට්ටලයක් සමග වටිනා සහතිකයක් අභ්‍යාසලාභීන් වෙත පිරිනැමීමට නියමිතය.

මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කර සිටියේ කොතැන සිටියත් ආබාධිත බව කියන්නේ තමන්ගේ සම්පූර්ණ සංවර්ධන විභවය නැතිනම් ග්රෝත් ප්‍රොටෙන්ෂල් එක පුරවැසියෙක් ලෙස සම්පූර්ණ වශයෙන් දායාද කළ නොහැකි බවයි. ආබාධිත තත්වය ගත්විට එය ලංකාවේ උතුරේ වේවා, දකුණේ වේවා, බස්නාහිර වේවා, නැගෙනහිර වේවා සියලු දෙනාම එක සමාන බැවින් ආබාධිත දරුවන් වෙනුවෙන් රජයක් ලෙස වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන විවෘත කරමින් සිටින බවත් නම වන මධ්‍යස්ථානය ලෙස මෙම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය විවෘත වන බවයි. තවදුරටත් රාජ්‍ය අමාත්‍යවරිය අවධාරණය කර සිටියේ වෘත්තීය පුහුණු වැඩසටහන් ඉතාම වැදගත්වන බවත් ඔවුන්ව කිසියම් වෘත්තියකට හුරු කිරීම තුළින් ගෞරවණීය පුරවැසියෙකු ලෙස ජීවත්වීමට කිසියම් ආර්ථික සවිබල ගැන්වීමක් එක්ක හැකියාව ලැබෙන බවයි.

මෙම අවස්ථාවට ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් සුනේත්‍රා ගුණවර්ධන, මඩකළපුව දිස්ත්‍රික් ලේකම් කේ.කරුණාකරන්, වාලච්චේනෛ ප්‍රාදේශිය සභාවේ සභාපති සෝබා ජනරංජනී, සමාජ සේවා අධ්‍යක්ෂ චන්දන රණවීරආරච්චි, චයිල්ඩ් ෆන්ඩ් ශ්‍රී ලංකා ආයතනයේ අධ්‍යක්ෂ නාලක සිරිවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිස එක්විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *