27 April 2024
#දේශීය

ජාතික වනෝද්‍යානවල විල්ලු පද්ධති සක්‍රිය නොවීමෙන් වන සතුන්ගේ ජීවිත අවදානමක 

ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය හා සෝමාවතිය ජාතික වනෝද්‍යාන තුළ පිහිටි විල්ලු පද්ධති වසර 3ක පමණ කාලයක් සක්‍රීය නොවීමෙන් විවිධ ජලජ ශාක ගහණ වැඩි වී වගුරුබිම් බවට පත් වී වන සතුන්ගේ ජීවිත අවදානම් සහගත තත්ත්වයකට පත්ව ඇතැයි පොලොන්නරුව ත්‍රිකුණාමලය ප්‍රදේශය භාර වනජීවී පශු වෛද්‍ය සමීර කළිගු ආරච්චි මහතා පවසයි.

පශු වෛද්‍ය සමීර කළිගු ආරච්චි මහතා මේ බව පැවසුවේ ඉකුත් සතියේ පොලොන්නරුව  ඕනෑගම පුදූර් දිවුලාන විල්ලුවේ තුම්මෝදර ප්‍රදේශයේ ජපන් ජබර හා ජලශ ශාක ගහණය නිසා දියේ ගිලී ගොඩ ඒමට නොහැකි වූ වන අලි 09 දෙනාගේ පශ්චාත් මරණ පරික්ෂණ පිළිබදව අප  කළ විමසුමකට පිළිතුරු දෙමිණි. 

“මේ වගේ අවාසනාවන්ත  විදිහට අලි රංචුවක් එකවර දියේ ගිලී මඩේ එරිලා මියගිහින් නෑ අපේ මතකයේ හැටියට. පසුගිය මාසේ දින දෙකක් පොලොන්නරුවට මහ වැසි වැස්සා. ඒ වැස්සට ජපන් ජබර තල්ලු වෙලා ඇවිල්ලා මේ ප්‍රදේශය වසා ගත්තා. එහෙම මහ වැස්සට එකතු වෙන ජලජ ශාක මේ වගේ විල්ලුවලට තල්ලු වෙනවා. මීට වසර 3කට 4කට පෙර නම් ගංවතුර තත්ත්වයන්  සැම වර්ෂයකම වාගේ ඇති වුණා. දැන් ඒ තත්ත්වය නැති නිසා මේවා ගහගෙන යන්නේ නෑ. මෙම ස්ථානයේ ජපන් ජබර තට්‍ටුව හරිම ගණකම්. අඩි දෙකහමාරක් පමණ තිබෙනවා. ඒකේ බර අඩු සත්තුන්ට යන්න පුලුවන් මොකුත් වෙන්නේ නෑ. හැබැයි හදිසියේ  ආව අලි රංචුවම මේ තට්‍ටුව කඩාගෙන යටට ගිලුණා. ආපසු උඩට හොඩයවත් දාගන්න බැරි තත්ත්වයට මේ ජපන් ජබර තට්‍ටුව ගණකම් වෙලා මඩ යට එරිලා තියෙනවා. ඉදිරියේදීත් මේ විල්ලු සක්‍රීය නොවුනොත් වන සතුන්ට අනතුරු සිදු වෙන්න පුලුවන්. ඒ නිසා මේ විල්ලු පරික්ෂා කර බලා ඒවා පිරිසිදු කරන්න පියවර ගන්නවා නම් හොදයි.”

පො ළොන්නරුව වාර්තාකරු 

Leave a comment

Your email address will not be published. Required fields are marked *