27 April 2024
#දේශීය

පළාත් පාලන ඡන්ද විමසීම ඉතා සාර්ථකව ඉදිරියට කරගෙන යනවා – මහලේකම් සාගර

පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් විපක්ෂය විවිධාකාරයේ අසත්‍ය ප්‍රකාශ නිකුත් කළ අතර ඒ සියලු කාරණා අසත්‍යයක් බවට පත් කරමින් මේ වන විට පළාත් පාලන ඡන්ද විමසීමේ කටයුතු ඉතා සාර්ථකව ඉදිරියට කරගෙන යන බවට පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද(24) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා, “ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපි පක්ෂයක් විදිහට දිගින් දිගටම ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි සහ ජනතාවාගේ ඡන්දය අයිතිය කෙරෙහි විශ්වාසය තැබුවා. මේ රටේ අනෙකුත් පක්ෂ බොරු වපුරද්දි අපි විතරයි පක්ෂයක් හැටියට සෘජු තීරණයක් අරගෙන නිවැරදි ආකාරයෙන් ජනතාවාදි ලෙස කටයුතු කරමින් මේ රටේ ඇප මුදල් තැන්පත් කිරීමේ සිට නාමයෝජනා ලබාදීම දක්වා වන සියලු කටයුතු ඉතා සාර්ථකව ඉටු කළේ අපි. මෙවර පළාත් පාලන ඡන්ද ආයතන 254 ට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය හැටියට පොහොට්ටුව ලකුණ යටතේ නාමයෝජනා භාරදිලා තිබෙනවා. ඊට අමතරව අනෙකුත් පළාත් පාලන ආයතන සඳහා අපත් සමඟ සන්ධානගත වූ පක්ෂ සමඟ තරඟ කිරීමක් හෝ පොදු ලකුණකින් තරඟ කිරීමක් කියන කාරණයට එළඹිලා තිබෙනවා. මේ අනුව ඉතා සාර්ථකව මේ වන විට මෙතෙක් පැවති සියලු පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ කරුණුවලට පක්ෂයක් හැටියට අපි මුහුණදිලා තිබෙනවා. ඉදිරියටත් ඉදිරි කටයුතුවලට මුහුණදිලා මෙම ඡන්දය ජයග්‍රහණය කිරීමේ හැකියාව අපිට තිබෙන බවත් මේ අවස්ථාවේ කියා සිටිනවා. මම හිතන්නේ මේ පළාත් පාලන ඡන්දය විමසීම සම්බන්ධයෙන් වන කාරණයේදී මේ බොරුව වැපිරීම යන කාරණයට තියෙන හොඳ උදාහරණය තමයි අනෙකුත් පක්ෂ මේ සම්බන්ධයෙන් ජනතාවට ප්‍රකාශ කරපු මත දැක්වීමෙන්. දිගින් දිගටම විවිධාකාරයේ අසත්‍ය ප්‍රකාශ සමාජගත කරනු ලැබුවා පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන්. නමුත් ඒ සියලු කාරණා අසත්‍යයක් බවට පත් කරමින් මේ වන පළාත් පාලන ඡන්ද විමසීමේ කටයුතු ඉතා සාර්ථකව ඉදිරියට කරගෙන යනවා. අද උදෑසන මැතිවරණ කොමිෂන් සභාවේ පක්ෂ ලේකම්වරුන්ගේ විශේෂ සාකච්ඡාවක් පැවැත්තුවා. ඒ සාකච්ඡාවේදී මැතිවරණ වියදම් නියාමනය කිරිමේ පනත යටතේ එක් එක් අපේක්ෂකයාට වියදම් කළයුතු මුදල් ප්‍රමාණය නිර්ණය කිරීම සඳහා තීරණය කිරීමට. මේ අවශ්‍ය සියලු කටයුතු මේ වන විට පැවැත්වෙමින් යනවා. ඒ වගේම මෙම පළාත් පාලන ඡන්දය විමසීමේදී මේ රටේ ජනතාවගෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට අපි විශේෂ ඉල්ලීමක් කරන්න කැමති. ඔබ මෙවර ඡන්දය පාවිච්චි කිරීමේදි දෙවරක් සිතා බලන්න. අවශ්‍ය යටිතල පහසුකම්, පාරවල් විදුලිබලය ලබාදිලා තිබෙන්නේ කවුද කියලා. අවශ්‍ය පහසුකම් සියලුදේ සපයලා දිලා තිබෙන්නේ කවුද? ඒවා ලබාදෙන බවට බොරු පොරොන්දු දෙමින් කටයුතු කරන්නේ කවුද? එම සහන ලබා නොදි ඔබගේ ඡන්දය මංකොල්ලකාපු පුද්ගලයින් කවුද? මේ කාරණ සම්බන්ධයෙන් සැලකිළිමත් වුණොත් මම හිතන්නේ මේ රටේ ජනතාවට දෙවරක් හිතන්න දෙයක් නෑ ඔබගේ වටිනා කතිරය පොහොට්ටුව ඉදිරියේ සළකුණු කිරීම හැර වෙනත් විකල්පයක් ණෑ. මේ කාරණය සම්බන්ධයෙන් ඔබගේ රට වෙනුවෙන් ඔබගේ සහ ඔබගේ දූදරුවන්ගේ අනාගතය වෙනුවෙන් ඒ කාර්ය භාර්යය සිදුකළ හැක්කේ කාහටද යන කාරණය සම්බන්ධයෙන් සැලකිලිමත් වෙලා කටයුතු කරන්න කියලා ගෞරවනිය ඉල්ලීම කරනවා.” යැයි මන්ත්‍රී සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *