27 April 2024
#දේශීය

දේශීය නිෂ්පාදන ක්‍රියාවලිය කාර්යක්ෂමව ක්‍රියාත්මක විය යුතුයි – රාජ්‍ය ඇමැති ශෙහාන් කියයි

මෙරට ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩ නැංවීම සඳහා දේශීය නිෂ්පාදන ක්‍රියාවලිය කාර්යක්ෂමව සහ වඩාත් තිරසාර ලෙස ක්‍රියාත්මක විය යුතුයි බව සමෘද්ධි, ගෘහ ආර්ථික , ක්ෂ්ද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා(24) මෙරට තුන්වන “සෞභාග්‍යා” සතිය ආරම්භ කරමින් අනුරාධපුර දිස්ත්‍රිකයේ රාජාංගනය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ අංක 455 තුලානේ වෙහෙරගල අත්කඩදාසි ගම්මානය ආරම්භ කරමිනි.

“සෞභාග්‍යා” වැඩ සටහන් මාලාව යටතේ මේ වනවිට දිවයින පුරා නිෂ්පාදන ගම්මාන 560 ක් ආරම්භ කර ඇති අතර එහි සියලු කාර්යයන් 2021 වර්ෂයේ දෙසැම්බර් වන විට අවසන් කිරීමට සමෘද්ධි අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

මේ වන විට මෙම ගම්මාන සඳහා ජනතාව ප්‍රියත්වයක් දක්වන බවද අපට වාර්ථා විය. ඒ අනුව “සෞභාග්‍යා” වැඩ සටහන් මාලාවේ තුන්වන අධියර ලෙස අනුරාධපුර දිස්ත්‍රිකයේ පලාගල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ මිටි මුරුංගා ආශ්‍රිත නිෂ්පාදන ගම්මානයක්ද , තඹුත්තේගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ කරපිංචා සහ නයි මිරිස් වගා ආශ්‍රිත නිෂ්පාදන ගම්මානයක් සහ පලාගල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පුබ්බෝගම, ගම්මානයේ තිදරු පියෙක්ටත්, සිව් දරු මවකටත් නිවාස සිහිනය සැබෑ කර දීමට සමෘද්ධි රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා කටයුතු කළා.

එහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ,“ මේ අපි පසු කරගෙන යන්නේ බොහොම අසීරු කාල සීමාවක්. නමුත් අපි ඒ අසීරුව පෙරමුණට දාලා ග්‍රාමීය සංවර්ධනය නාගරික සංවර්ධනය රටක සංවර්ධනය පස්සට දාන්නේ නෑ. මොකද මේ රටේ බහුතරයක් වටිනා මනාපයක් දීලා ආණ්ඩුවක් පත් කළේ මේ රටේ සංවර්ධනය දකින්න. අද වන විට අපි හැකි උපරිමය එය සිදු කරමින් සිටිනවා. මේ රටේ මෙතෙක් ඉතිහාසයේ ආරම්භ වුණ වටිනාම ව්‍යාපෘතිය “සෞභාග්‍යා” ව්‍යාපෘතියයි. අද වන විට ඒ වටා ග්‍රාමීය ජනයා එක් වන්නේ දැඩි උනන්දුවකින්. ඒ නිසා අපිට මේ වසරේ සැලසුම් කළ ප්‍රමාණයටත් එහා නිෂ්පාදන ගම්මාන බිහි කරන්න සිදු වුණා. අන්න ඒ නිසයි අපි අද ආඩම්බරයෙන් කියන්නේ දිවයින පුරා මේ වර්ෂය අවසානයේදී නිෂ්පාදන ගම්මාන 560 ක් ආරම්භ කර අවසන් වෙනවා කියලා. එහි ආදායමෙන් ජාතික ආර්ථිකයටත් රුපියල් මිලියන 2,000 ක් මේ වර්ෂයේ ලබා දී ලබන වර්ෂය වන විට එය රුපියල් මිලියන 18,000 ක් දක්වා වර්ධනය කරන්නයි අපි සැලසුම් කර තිබෙන්නේ. මෙය අසීරු කාර්යයක් නොවේ. අපි මේ තෝරාගන්න පිරිස වඩාත් ක්‍රියාකාරී මෙන්ම කාර්යක්ෂම විය යුතුයි. මේ එක් ප්‍රථිලාභියෙකු සඳහා අපි රුපියල් 50,000 ක් ලක්ෂයක් වැනි මුදලක් වෙන් කරනවා. එහි වඩා ගුණාත්මක ප්‍රතිපලයක් මා විෂය භාර අමාත්‍ය වරයා ලෙස බලා පොරොත්තු වෙනවා. “සෞභාග්‍යා” තුන්වන සතියේ අපේක්ෂිත ඉලක්ක සපුරමින් අපි කඩිනමින් “සෞභාග්‍යා” හතරවන සතියත් ආරම්භ කරනවා.යැයි අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසිය. 

මෙම අවස්ථාව සදහා , සමෘද්ධි අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සී. ඩී කලුආරච්චි , අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර , දිස්ත්‍රික් ක්‍රම සම්පාදන සැලසුම් අධ්‍යක්ෂක සුගත් නයනානන්ද , දිස්ත්‍රික් සමුර්දි අධ්‍යක්ෂක ඩබ්ලිව් .ඒ වසන්ත , මහත්ම මහතුන් සහභාගි වූහ.

සටහන – සජිත් ගයාන් උබේපාල

Leave a comment

Your email address will not be published. Required fields are marked *