27 April 2024
#දේශීය

ස්ට්‍රොබෙරි වගා ව්‍යාපෘතියක් සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ අනුමැතිය ලැබේ

දේශීය ආයෝජකයින් පිරිසක් විසින් අපනයනය ඉලක්ක කර ගනිමින් ස්ට්‍රෝබෙරි වගා කිරීම සඳහා ඉදිරිපත් කරන ලද ව්‍යාපෘතියකට කෘෂිකර්ම අමාත්‍යාංශය ඊයේ (13) අනුමැතිය ලබා දුන්නේය.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර හා ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ සාකච්ඡාවක් පැවැති අතර එහිදී මෙම ව්‍යාපෘතියට අනුමැතිය ලබා දීමටත්, කඩිනමින් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහාත් අනුමැතිය ලබා දෙනු ලැබීය.

ස්ට්‍රොබෙරි සඳහා ලෝක වෙළඳපල තුළ ඉහළ ඉල්ලුමක් ඇතත් තවමත් නවීන තාක්ෂණය යොදා ගනිමින් වගා නොකිරීම නිසා අපේ රටේ වගා කෙරෙන ස්ට්‍රෝබෙරි සඳහා පවතින්නේ අවම ඉල්ලුමකි. ස්ට්‍රෝබෙරි අපනයනය කරන රටවල් අතර ශ්‍රී ලංකාවට හිමිවී තිබෙන්නේ 57වන ස්ථානයයි. වාර්ෂිකව සීග්‍රයෙන් ඉහළ යන වෙළෙඳ පලක් ස්ට්‍රොබෙරි සතුවන අතර මෘදු පලතුරක් වශයෙන් ස්ට්‍රොබෙරි අතිශය ජනප්‍රිය පලතුරකි.

මෙම නව ව්‍යාපෘතිය සඳහා නුවරඑළියේ ඇති කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් ඉඩම්වලින් හෙක්ටෙයාර් එකක් පළමු අදියර යටතේ නියාමණ ව්‍යාපෘතියක් වශයෙන් ලබා දීමට එකඟත්වය පළ කරනු ලැබීය. ව්‍යාපෘතියේ සාර්ථකත්වය අනුව ඉන්පසු අවශ්‍ය වුවහොත් හෙක්ටෙයාර් 10ක් දක්වා ස්ට්‍රොබෙරි වගාව සඳහා ලබා දිය හැකි යැයි කෘෂිකර්ම අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

නව තාක්ෂණය යොදා ගැනීම මගින් ස්ට්‍රොබෙරි වගා කළහොත් වසරකට හෙක්ටෙයාර් එකකින් ඇමරිකන් ඩොලර් 117,600 ආදායමක් උපයා ගැනිමට හැකි වේ. එමෙන්ම හෙක්ටයාර් එකකින් කිලෝ 120,000ක අස්වැන්නක් ලබා ගැනීමට ද හැකියාව තිබේ. එමෙන්ම හෙක්ටයාර් එකක් වගා කිරීම සඳහා ආයෝජනය කරන මුදල රුපියල් මිලියන 250කි.

මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලබන වසර කෘෂිකර්මය නඟා සිටුවීම සදහා ප්‍රමුඛත්වය ලබා දෙන වසරක් බව ද කීය. අතිගරු ජනාධිපතිතුමා නව අයවැය ලේඛනය ඉදිරිපත් කරමින් මෙරට කෘෂිකර්මාන්තය සඳහා ඉහළ දායකත්වයක් ලබා දී ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. විශේෂයෙන් නව තාක්ෂණිය කෘෂිකර්මාන්තයට හඳුන්වා දීම සඳහා රජය ප්‍රමුඛත්වය ලබා දී කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *