27 April 2024
#දේශීය

පූර්ණ ආබාධිත ප්‍රජාවට ස්ථිර හැඳුනුම්පතක් ලබාදීමේ ජාතික වැඩසටහන ඇරඹේ

ආබාධිත ප්‍රජාව සඳහා බාධාවකින් තොරව ජන්දය ප්‍රකාශකිරීම සඳහා හැඳුනුම්පතක් ලබාදීමේ වැඩසටහනේ පළමු ජාතික උත්සවය අද (21) පුත්තම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණ.

ඒ, මැතිවරණ කොමිෂන් සභාව පැෆ්රල් සංවිධානය සහ ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණ ඒකාබද්ධව සිදුකරනු ලැබුවේය.

පසුගිය කාලය පුරාවටම පැවති මැතිවරණ වලදී පූර්ණ ආබාධිත තත්ත්වයන් සහිත ඡන්දදායකයන්ට ඡන්දය භාවිත කිරීමේදී ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමේදී හා සහායකයකු කැටුව යාමේදී ග්‍රාම නිලධාරීවරයාගේ සහතිකය හා වෛද්‍යවරයෙකුගේ නිර්දේශයද සමගින් මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය අවශ්‍ය වූ අතර මැතිවරණයෙන් මැතිවරණයට එම අනුමැතිය ලබාගැනීමට අවශ්‍ය විය.

මෙම තත්ත්වය පූර්ණ ආබාධිත ඡන්දදායකයින් ඡන්දය භාවිත කිරීමට උදාසීන තත්ත්වයක් බවට හඳුනාගෙන සිටි පැෆ්රල් සංවිධානය මෙම ක්‍රියාවලිය සරල ක්‍රමවේදයකට අනුගත කිරීම වෙනුවෙන් පසුගිය වසර ගණනාවක් මුලුල්ලේම විවිධ පාර්ශවයන් සමගින් සාකච්ඡා පැවැත්වීය. දිවයිනේ දිස්ත්‍රික් 25 ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම හැඳුනුම්පත් ලබාදීමේ වැඩසටහනේ පළමු අදියරේදී දිස්ත්‍රික් 10 ක පූර්ණ ආබාධිත 5000 ක පිරිසක් වෙනුවෙන් ස්ථිර හැඳුනුම්පත් ලබාදීමට නියමිතය.

අද දින නිකුත් කෙරෙන මෙම හැඳුනුම්පතෙහි අදාල පුද්ගලයාගේ ආබාධිත තත්ත්වය කුමක්ද යන්න පහසුවෙන් හඳුනාගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර සම්මත සංඛේතයක් ඇතුළත්ව තිබෙන අතර එමගින් ඡන්දපොළ ස්ථානාධිපතිවරු ඇතුළු නිලධාරීන්ට පහසුවෙන් එම ඡන්දදායකයාට අවශ්‍ය පහසුකම කුමක්ද යන්න පිළිබඳව හඳුනාගත හැකිවනු ඇති. එමෙන්ම සිය ඡන්දපොළ වෙත පූර්ණ ආබාධිත ඡන්දදායයින් කවර ප්‍රමාණයක් පැමිණේදැයි ඔවුන්ට පැහැදිලි අවබෝධයක් ලබාගැනීමටද එමගින් හැකියාව ලැබෙන අතර එම ඡන්දදායකයින්ටද අභිමානයකින් යුක්තව සිය ඡන්දය භාවිත කිරීමට හැකිවනු ඇත.

මෙම උත්සවය සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක, මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහත්වරුන් ඇතුලු මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන්ද පුත්තලම අතිරේක දිස්ත්‍රික් ලේකම් ඩබ්. ඒ. රවීන්ද්‍ර වික්‍රමසිංහ මහතා, සහකාර දිස්ත්‍රික් ලේකම් ඩබ්.එම්.එස්.ජී. කරුණාරත්න මහත්මිය ඇතුලු රාජ්‍ය නිලධාරීන්ද පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි, ජාතික සම්බන්ධීකාරක සුජීව ගයනාත් මහතාද ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණේ සභාපතිනි රසාංජලී පතිරගේ මහත්මියද දිස්ත්‍රික් ආබාධිත හා සිවිල් සංවිධාන නියෝජිතයින් රැසක්ද එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *