27 April 2024
#ව්‍යාපාර

අලියාන්ස් ලංකා සහ නවලෝක රෝහල් අතර හවුල්කාරීත්වයෙන් රක්ෂණ හිමියන්ට වාසි රැසක්

මෙරට ප්‍රධාන පෙළේ රක්ෂණ සමාගමක් මෙන්ම ජාත්‍යන්තර අලියාන්ස් සමූහ ව්‍යාපාරයේ සාමාජික සමාගමක් වන අලියාන්ස් ලංකා සමාගම පසුගියදා නවලෝක රෝහල් සමූහය සමග විශේෂ හවුල්කාරීත්වයකට අත්සන් තැබීය.

මෙමගින් Allianz Global Healthcare රක්ෂණ හිමියන්ට සුවිශේෂී ප්‍රතිලාභ රාශියක් හිමි වේ. රක්ෂණ හිමියන්ට සහ ඔවුන්ගේ පවුල් වල සාමාජික සාමාජිකාවන්ට රෝහල්ගත වීමකට පෙර හා පසු පරිපූර්ණ රැකවරණයක් පිරිනමන Allianz Global Healthcare රක්ෂණය ලොව කොතැනක සිටියත් රක්ෂණ හිමියන්ට ජාත්‍යන්තර තලයේ සෞඛ්‍ය සේවාවන් ලබාගැනීමට උපකාරී වෙයි.

Allianz Global Healthcare රක්ෂණයේ ප්‍රතිලාභ අතරට රෝහල්ගත කිරීම් සඳහා ජාත්‍යන්තර ආවරණයක්, COVID-19 ආවරණයක්, පවුල් සඳහා විශේෂ වට්ටම්, වයස අවුරුදු 64 දක්වාම සුදුසුකම් ලැබීමේ හැකියාව, ස්වකැමැත්ත මත තෝරාගන්නා ප්‍රතිකාර (විදේශ රටවලදී) ආවරණය, වෛද්‍ය හේතු මත යම් ස්ථානයක් වෙත යැවීම සහ නැවත ගෙන්වා ගැනීම, පැය විසි හතර පුරා හදිසි සහය, සහ රෝහල් වෙත සෘජුව ගෙවීම් සිදුකිරීමේ හැකියාව ඇතුළු තවත් බොහෝ දේ ඇතුළත් වේ. නවලෝක රෝහල් සමූහය සමග ඇතිකරගත් හවුල්කාරීත්වයත් සමග මෙම ප්‍රතිලාභ එකතුව තවදුරටත් පුළුල් වී ඇත. මෙම නව ප්‍රතිලාභ අතරට, කොළඹ නගර සීමාව තුළ ගිලන් රථ ගාස්තු අය නොකිරීම, දිවයින පුරා නවලෝක පරීක්ෂණ මධ්‍යස්ථාන සහ නියැදි එකතුකිරීමේ මධ්‍යස්ථාන වලදී තෝරාගත් පරීක්ෂණ සඳහා වට්ටම් හිමි වීම, රෝහල් කාමර සඳහා විශේෂ ගාස්තු හිමි වීම සහ රෝහල් බිල්පත් සඳහා වැඩිදුර වට්ටම් හිමි වීම ආදිය ඇතුළත් වී ඇත.

තවද මෙම නව හවුල්කාරිත්වය මගින් Allianz Global Healthcare රක්ෂණ හිමියන්ට සෞඛ්‍ය පරීක්‍ෂණ සඳහා සුවිශේෂී වට්ටම්, නවලෝක රෝහල වෙතින් ලබාගන්නා සෞඛ්‍ය සේවාවන් සඳහා වෙනම සම්බන්ධතා කළමනාකරුවෙකු සමග නවලෝක Platinum Circle හි සාමාජිකත්වය නොමිලේ හිමි වීම ඇතුළු ප්‍රතිලාභ රැසක් හිමි වේ. නවලෝක Platinum Circle යනු සුදුසුකම් ලබන පුද්ගලයන්ට ඉහළ ප්‍රතිලාභ පිරිනමන සුවිශේෂී පාරිභෝගික ළැදියා වැඩසටහනකි.

“අලියාන්ස් යනු ජීවිතයේ වටිනාම දේවල් සඳහා රැකවරණය ලබාදෙන්නට කැප වී සිටින සමාගමක්. නිරෝගී සුවය තරම් වටිනා දෙයක් තවත් නැහැ. මේ කැපවීමේ තවත් ඉදිරි පියවරක් වශයෙන් අප මේ ආකාරයට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සෞඛ්‍ය සේවා සම්පාදකයෙකු වන නවලෝක රෝහල් සමග හවුල්කාරීත්වයකට එළඹීමට කටයුතු කළා. මේ යටතේ, අපගේ රක්ෂණ හිමියන්ට සෞඛ්‍ය සේවාවන් අවශ්‍ය වන අවස්ථා වලදී ඔවුන්ට ඉහළම රැකවරණයක් සමග උපරිම වටිනාකමක් හිමි වෙනවා. මෙවැනි හවුල්කාරීත්වයකට එළඹීමට හැකිවීම අපට සතුටක්. දිගින් දිගටම නවලෝක රෝහල් සමූහය සමග එක්ව කටයුතු කිරීමට අප බලාපොරොත්තු වනවා.” අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ දේශීය කළමනාකරු ලෙස ඇලන් ස්මී මහතා පැවසී ය.

“ජාත්‍යන්තර පිටුබලය සහිත ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් සමග මෙලෙස අත්වැල් බැඳගැනීමට හැකිවීම අපට සතුටක් සහ ගෞරවයක්. ශ්‍රී ලාංකිකයන් අතර ජනප්‍රියතම සෞඛ්‍ය සේවා සම්පාදකයා වශයෙන් අප සමස්ත ශ්‍රී ලංකාවාසීන්ට විශිෂ්ටතම සේවාවක් ලබාදෙනවා. ඉහළම තලයේ වෛද්‍ය වෘත්තිකයන් මෙන්ම නවීනතම තාක්ෂණය සහ ප්‍රතිකර්ම ක්‍රම අප සතුයි. මේ හවුල්කාරීත්වය අප සමාගම් දෙකටම බෙහෙවින් වාසිදායක එකක් වනු ඇති අතර, එය දෙපාර්ශ්වයේම පාරිභෝගිකයන්ට ප්‍රතිලාභ රැසක් ලබාදේවි.” නවලෝක රෝහල් සමූහයේ සභාපති ජයන්ත ධර්මදාස මහතා පැවසී ය.

අලියාන්ස් ලංකා ලෙස හඳුන්වනු පොදුවේ ලබන අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා සමාගම (Allianz Insurance Lanka Ltd.) සහ අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ^Allianz Life Insurance Lanka Ltd.& ජාත්‍යන්තර Allianz SE හි පූර්ණ අයිතිය යටතේ පවතින අනුබද්ධ සමාගම් ලෙස ක්‍රියාත්මක වේ. ප්‍රධාන වශයෙන් රක්ෂණ සහ වත්කම් කළමනාකරණ ක්ෂේත්‍ර වල ක්‍රියාත්මක වන ජාත්‍යන්තර සමූහ ව්‍යාපාරයක් වන Allianz SE හි ප්‍රධාන කාර්යාලය ජර්මනියේ මියුනික් නගරයේ පිහිටා ඇත. ජාත්‍යන්තර අලියාන්ස් සමූහ ව්‍යාපාරයේ ශක්තිය සහ අලියාන්ස් ලංකා හි දේශීය විශේෂඥ දැනුම හා පළපුරුද්ද එක්තැන් වීම, අලියාන්ස් සමාගමට ශ්‍රී ලංකාව තුළ මෙබඳු සාර්ථකත්වයක් අත්පත් කරගැනීමට මහෝපකාරී වී තිබේ.

 

පිටපත – PR

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *