27 April 2024
#දේශීය

ලැබෙන පැමිණිල්ල විමර්ශනය නොකර ඉන්න පොලිසියට බෑ – ඇමැති ටිරාන්

යම් පාර්ශවයක් විසින් පොලිසියට යම් පැමිණිල්ලක් සිදු කොට ඇති අවස්ථාවකදී පොලිසියට මැදිහත් වීමක් සිදු නොකර සිටීම කළ නොහැකි බව මහජන ආරක්ෂක අමාත්‍ය ගරු ටිරාන් අලස් මහතා පවසයි.


අමාත්‍යවරයා මේ බව පැවසුවේ වතු කම්කරුවන් සහ කළමණාකාරිත්වය අතර ඇතිවන්නා වූ විවිධ වෘත්තීය සමිති ගැටුම්වලට පොලිසියේ මැදිහත් වීම ගැටලුවක් බව පසුගියදා පැවති මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට සහභාගී වූ මන්ත්‍රීවරයන් විසින් සාකච්ඡා කල අවස්ථාවේදිය. එහිදී අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසා සිටියේ යම් පාර්ශවයක් විසින් පොලිසියට යම් පැමිණිල්ලක් සිදු කොට ඇති අවස්ථාවකදී පොලිසියට මැදිහත් වීමක් සිදු නොකර සිටීම කළ නොහැක්කක් බවයි.

මත්ද්‍රව්‍ය වැටලීම සිදුකරන පොලිස් නිලධාරින් ඇගයීමට ලක් කිරීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විමසා සිටියහ. එසේ ඇගයීමට ලක් කිරීම සඳහා දැනටමත් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වන බවත්, වැටලීම් වලට අදාළ කරුණු කාරණා සලකා බැලීමෙන් අනතුරුව ඒ ඒ අදාළ නිලධාරීන් ඇගයීමට ලක් කෙරෙන බවත් පැමිණ සිටි ජේෂ්ඨ පොලිස් නිලධාරින් පැවසිය.

ඉමදුව පොලිසියේ ස්ථාන භාර නිලධාරී සඳහා වෙන්කරන ලද නිවස ප්‍රයෝජනයට නොගැනීම පිළිබඳවද මෙහිදී විමසා බලනු ලැබීය. මෙහිදී පැමිණ සිටි නිලධාරීන් පවසා සිටියේ මේ වන විට එම නිවස ප්‍රයෝජනයට ගැනීමට කටයුතු යොදා ඇති බවයි.

තවද ගම් මට්ටමින් මත්ද්‍රව්‍ය භාවිතය, ව්‍යාප්තිය සහ ඇබ්බැහි වුවන් පාලනය කිරීම සම්බන්ධයෙන් වූ වැඩ පිළිවෙළ පිලිබඳව කමිටුව විමසා සිටි අවස්ථාවේදී, පැමිණ සිටි ජේෂ්ඨ පොලිස් නිලධාරීන් පැවසුවේ, මත්ද්‍රව්‍ය පිලිබඳ විමර්ෂණයක් පොලිසියට ලැබුන අවස්ථාවකදී පෙර මෙන් නොව නීති විරෝධී ළඟ තබා ගැනීම් මෙන්ම මුදල් විශුද්දිධිකරණය සඳහා ද විමර්ෂන කෙරෙන බව පැවසීය.

රථවාහන වැරදි සම්බන්ධයෙන් රථවාහන පොලිසිය වීඩියෝ පටිගත කර, ඒවා මාධ්‍ය වෙත නිකුත් කිරීමේ සදාචාරාත්මකභාවය පිළිබඳව ද කමිටුව අවධානය යොමු කළේය. ඕනෑම වැරදිකරුවෙකුගේ පෞද්ගලිකත්වයට පොලිසිය ගරු කළ යුතු බව කමිටුවේ අදහස විය. පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා . මේ සම්බන්ධයෙන් ගැටලු පවතින බව පිළිගනිමින් ප්‍රකාශ කර සිටියේ තමන් ඒ පිළිබඳව සොයා බලා එය විසඳීමට කටයුතු කරන බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන අකිල එල්ලාවල, වීරසුමන වීරසිංහ, ශාන්ත බණ්ඩාර, සහන් ප්‍රදීප් විතාන, චාල්ස් නිර්මලනාදන්, කුලසිංහම් දිලීපන්. මධුර විතානගේ, වේලු කුමාර,  (ආචාර්ය) වී. රාධක්‍රිෂ්ණන්, විජිත බේරුගොඩ, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, මහින්දානන්ද අලුත්ගමගේ, U. K. සුමිත් උඩුකුඹුර,  සංජීව එදිරිමාන්න,  රංජිත් මද්දුම බණ්ඩාර, රාජිකා වික්‍රමසිංහ, අරවින්ද් කුමාර්, සහ අසංක නවරත්න යන මහත්ම මහත්මීහු මෙම කමිටුවට සහභාගී වූහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *