18 May 2024
#දේශීය #පුවත්

පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු වහාම ආරම්භ කරනවා – රාජ්‍ය ඇමැති රංජිත්

වසර 40 ක් පමණ පැරැණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ මේ වන විට යම් යම් ප්‍රතිසංස්කරණ සිදුකිරීම අවශ්‍ය බවත්, ඒ අනුව එම කඩිනම් ප්‍රතිසංස්කරණ හඳුනාගෙන එම ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බවත් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාවේ මුදල් අමාත්‍යාංශ නියෝජිත හා මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ පාර්ලි‍මේන්තු ගොඩනැගිල්ල අබලන් වී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් අද (05) උදෑසන මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ වසර 40 ක් පමණ පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාවය පුදුමයට කාරණාවක් නොවන බවත්, මේ පිළිබඳව රජයේ සහ පාර්ලිමේන්තුවේ අවධානය යොමුව තිබූ බවත් ය.

ඒ අනුව පසුගිය 25 වන දින කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ඉහත උපදේශක කාරක සභා රැස්වීමේදී , වහාම ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකළ යුතු කාර්යයන් හඳුනාගෙන නාගරික සංවර්ධන අධිකාරියේ සහ මධ්‍යම ඉංජිනේරු උපදේශක කාර්යාංශයේ මැදිහත් වීමෙන් එම කටයුතු සිදුකිරීමට තීරණය කළ බවද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

මෙවර අයවැයෙන් වෙන් කර ඇති ප්‍රතිපාදන වහාම මේ සඳහා ලබාදීමට එහිදී අනුමැතිය ලබාදුන් බවත් , තවදුරටත් අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කර දීමට , කථානායකවරයා , සභානායකවරයා මෙන්ම විපක්ෂ නායකවරයාද නියෝජනය කරන මෙම උපදේශක කාරක සභාවේදී ප්‍රතිපත්තිමය එකඟතාවයකට පැමිණි බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ ය.

තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ 2022 වසරේදී වත්මන් ජනාධිපතිවරයා ඉදිරිපත් වී ආරක්ෂක අංශයේ මැදිහත්වීමෙන් පාර්ලිමේන්තුව ආරක්ෂා කර නොගත්තේ නම් ප්‍රතිසංස්කරණය කිරීමට පාර්ලිමේන්තුවක් ඉතිරි වෙනවා තබා අළුගොඩක් පමණක් ඉතිරිවෙනු ඇති බවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *