18 May 2024
#දේශීය #පුවත් #සංවර්ධන

මාතර දිස්ත්‍රික් මහ රෝහලට රුපියල් මිලියන 200 ක් පමණ වටිනා අති නවීන CT Scanner යන්ත්‍රයක් ලබා දෙයි

මාතර දිස්ත්‍රික් මහ රෝහලේ අළුතින් ස්ථාපිත කරන ලද රුපියල් මිලියන 200 ක පමණ වටිනාකමකින් යුතු CT Scanner යන්ත්‍රය ප්‍රතිකාර සේවාවන් සදහා එක් කිරීම ඊයේ දින (04) සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

අති නවීන තාක්ෂණයෙන් යුත් මෙම CT Scanner යන්ත්‍රය සෞඛ්‍ය අමාත්‍යාංශයේ මුල්‍ය ප්‍රතිපාදන යටතේ මාතර දිස්ත්‍රික් මහ රෝහලට ලබාදීමට කටයුතු කර ඇත. මෙම නව CT Scan යන්ත්‍රය මගින් දිනකට CT Scan පරීක්ෂණ 40 ක් 50 ක් වැනි ප්‍රමාණයක් සිදු කිරිමට අපේක්ෂා කරනු ලබන අතර, ඉදිරියේ දී එම සීමාව ඉක්මවා පරීක්ෂණ සිදු කිරිමට හැකි වේ. එමගින් දැනට CT Scanner පරීක්ෂණ කටයුතු සදහා වන පොරොත්තු ලේඛණ අවම කරගැනීමට හැකියාව ලැබෙනු ඇත.

පැරණි CT Scanner යන්ත්‍රය වසර 17 ක් පමණ පරණ CT Scanner යන්ත්‍රයකි. මඩකළපුව සහ අනුරාධපුර රෝහල්වල භාවිතයෙන් ඉවත් කරන ලද යන්ත්‍ර කොටස් උපයෝගී කරගෙන වසර දෙකක් වැනි කාලයක් තිස්සේ දිනකට CT Scanner පරීක්ෂණ 50 ක් පමණ එමගින් සිදු කර ඇත.

මාතර දිස්ත්‍රික් මහ රෝහල අක්කර 08 ක භූමිභාගයක පිහිටා ඇත. ඇදන් ධාරිතාවය 851 කි. වාට්ටු හා රෝගී ඒකක 32 කින් යුක්ත වේ.

මෙම අවස්ථාවට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර, මාතර දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ ඒ.ඩී.යූ කරුණාරත්න, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (ජීව වෛද්‍ය) ජනප්‍රිය කරුණාතිලක යන මහත්වරුන් මෙන්ම විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ පිරිසක් සහභාගී වී සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *