27 April 2024
#දේශීය

රාගම වෛද්‍ය පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වු සිද්ධියේ වාර්තාව ජනපතිට භාර දෙයි

රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාර පරිශ්‍රයේ දී සිසුන් දෙපිරිසක් අතර ඇති වූ සිදුවීම සම්බන්ධ වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාර දෙයි.

පසුගිය පෙබරවාරි 01 වන දින රාත්‍රී රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාර පරිශ්‍රයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් පරීක්ෂා කර, වාර්තාවක් ඉදිරිපත් කිරීමට අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ සභාපතීත්වයෙන් කමිටුවක් ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබිණ. අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ රමේෂ් පතිරණ යන මහත්වරු කමිටුවේ සෙසු සාමාජිකයෝ වූහ.

කමිටුව අදාළ සිදුවීම, වාර්තා ආශ්‍රිතව නිරීක්ෂණය කර, කරුණු සහ නිර්දේශ ඇතුළත් වාර්තාවක් සකස් කර තිබේ.

එම සිදුවීම තෙවන හා සිව්වන වසරවල ඉගෙනුම ලබන සිසුන්ගේ වගකීම් විරහිත ක්‍රියාවක් විනා සැලසුම්සහගතව හා චේතනාන්විතව සිදුකළ ගැටුමක් නොවන බව ලබාගත් වාර්තා පරිශීලනයෙන් දක්වා ඇත.

වාර්තාවේ නිරීක්ෂණයන්ට අනුව සිද්ධියට සම්බන්ධ සිසුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර, යම් ක්‍රියාවන් කළ බවට පිළිගැනීම නිසා මුදල් හා ශරීර ඇප මත මුදාහැර තිබේ. අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා සිය මිතුරන් සමග ප්‍රමාදයකින් තොරව අත්අඩංගුවට ගෙන නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇත.

පොල් සංවර්ධන අධිකාරියට අයත් රථයක් අදාළ සිද්ධියට යොදාගැනීම සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීම වාහනය භාර රාජ්‍ය ආයතනයටත්, මෙය පූර්වාදර්ශයට ගෙන බාහිර පාර්ශ්වයන්ට නේවාසිකාගාර පරිශ්‍රයන්ට අනවසරයෙන් ඇතුළු වීම වැළැක්වීම සඳහා සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේම ආරක්ෂාව සහතික කිරීමේ නිශ්චිත වැඩපිළිවෙළක් සැකසීමටත් කමිටුව නිර්දේශ කර ඇත.

සිදුවීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයෙකුව සිටි අරුන්දික ප්‍රනාන්දු මහතා කිසිඳු අනුදැනුමක් හෝ බලපෑමක් සිදුකර නැති බව පරීක්ෂණයේ දී නිරීක්ෂණය වූ බව කමිටුව සඳහන් කරයි. නීතිය අපක්ෂපාතීව ඉටු කිරීම සඳහා ද ඒ මහතා ඉඩ ප්‍රස්තාව සලසා දී තිබේ. සියලු කරුණු සැලකිල්ලට ගෙන හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ අරුන්දික ප්‍රනාන්දු මහතා නිර්දෝශි අයෙකු බව නිගමනය කරන බව කමිටුව වාර්තාව මගින් වැඩිදුරටත් පෙන්වා දෙයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *