27 April 2024
#දේශීය

පොලිසිය සහ ස්වාධීන අධිකරණයක් නොමැතිව නීතියේ ආධිපත්‍ය සුරැකිය නොහැකිය – ජනපති

පොලිසිය සහ ස්වාධීන අධිකරණයක් නොමැතිව නීතියේ ආධිපත්‍ය සුරැකිය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවුසවේ ශ්‍රී ලංකාවේ 156 වන පොලිස් දිනය නිමිත්තෙන් ඊයේ (03) පස්වරුවේ බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මුලස්ථනයේ පැවති උත්සවය අමතමිනි.

රට ආර්ථික වශයෙන් ගොඩගැනීමේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට නම් රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය තහවුරු විය යුතු බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයා කියා සිටියේ රටක ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට නම් ව්‍යවස්ථාව ආරක්ෂා විය යුතු බවයි. එදා විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව අල්ලා ගත්තා නම් රටේ ප්‍රජාතන්තවාදය අවසන් වනවා සේම නීතියේ ආධිපත්‍යය ද උල්ලංඝනය වන බව ජනාධිපතිවරයා පැවසීය. එම අවස්ථාවේ නීතියේ ආධිපත්‍යයත්, ව්‍යවස්ථාවත් ආරක්ෂා කළේ පොලීසිය බව පෙන්වා දුන් වික්‍රමසිංහ මහතා සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවට ප්‍රණාමය පුද කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නා බව ද කියා සිටියේය.

මාධ්‍ය කෙතරම් පොලිසියට චෝදනා කළ ද, තමන්ගේ ඡායාරූපකරුවන්ට පහර දුන්නා යැයි පැවසුවා ද, එම කණ්ඩායම් දෙක අතර ඇති මිත්‍රත්වය මෙම සැමරුම් උළලේදී තමන්ට දක්නට ලැබුණු බව ද ජනාධිපතිවරයා කීය.

රාජකාරියේ යෙදී සිටිය දී මිය ගිය ජයන්ත ගුණවර්ධන නිලධාරියා වෙනුවෙන් “ජනාධිපති පොලිස් වීරතා පදක්කම” පිරිනැමීම සහ පාර්ලිමේන්තු ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් අගයමින් සංකේතාත්මකව නිලධාරීන් 30 දෙනෙකු සඳහා ප්‍රණාම සහතික පිරිනැමීම ද ජනාධිපතිවරයා අතින් සිදු විය.

පොලිස් වෙබ් අඩවිය සහ “ඊ නිවුස්” පුවත්පත එළිදැක්වීම ද සිදු කෙරුණු අතර පොලිස් ත්‍යාග අරමුදලෙන් රුපියල් මිලියන 100ක මුදලක් අභිනවයෙන් ස්ථාපනය කෙරෙන “නීති සහන අරමුදල” සඳහා පිරිනමමින් අදාළ චෙක්පත පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.

පොලිස් බටහිර තූර්ය වාදන සංදර්ශනයකින් සහ නිළ සුනඛ සංදර්ශනයකින් මෙම අවස්ථාව වර්ණවත් විය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කථානායක මහින්ද යාපා අබේවර්ධන, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි යන මහත්වරු සහ රටවල් රැසක් නියෝජනය කරමින් ජාත්‍යන්තර පොලීසියට අයත් නිලධාරීන් සහ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *