27 April 2024
#දේශීය

කැසිනෝ ව්‍යාපාර පනත යටතේ නියමය සහ නියෝග සඳහා දැඩි කෝන්දේසි සදහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමි වෙයි

2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර (නියාමනය) පනත යටතේ නියමය සහ නියෝගය සඳහා දැඩි කොන්දේසි සහිතව පසුගියදා (06) වනදා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනුමතිය හිමි විය.

මෙම තීරණය ගෙන ඇත්තේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රැස් වු අවස්ථාවේදිය.

මීට පෙරද මෙම නියමය සහ නියෝගය පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අවස්ථා කිහිපයකදීම සාකච්ඡා කළ අතර මෙය අනුමත කර ගැනීම සඳහා පසුගිය 05 වැනිදා කාරක සභාව වෙත ඉදිරිපත් ‌කෙරිණි.

නමුත් කැසිනෝ නියාමන ආයතනයක් පිළිබඳව ක්‍රියාකාරී සැලැස්ම සහ කාලරාමුව ඇතුළු තොරතුරු ප්‍රමාණවත් නොවන බැවින් එම තොරතුරු 06 වැනි දිනයේ කාරක සභාව වෙත ඉදිරිපත් කොට මේ සඳහා අනුමතිය ලබාගන්නා ලෙස මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට කාරක සභාව විසින් නිර්දේශ කරන ලදි.

මේ අනුව මෙදින එම ක්‍රියාකාරී සැලැස්ම සහ කාල රාමුව ඉදිරිපත් කිරීම හා ඉන්දියාව, මැලේෂියාව, බංගලාදේශය යන රටවල කැසිනෝ ව්‍යාපාරය සඳහා බදු අයකරගැනීම පිළිබඳ නිදසුන් සහිතව තොරතුරු ඉදිරිපත් කිරීම මුදල් අමාත්‍යාංශ නිලධාරීන් විසින් සිදු කරන ලදි.

මෙහිදී 2024 වර්ෂය දක්වා කාල රාමුවක් සහිත සැලැස්මක් නිලධාරීන් මෙහිදී ඉදිරිපත් කළ අතර කාරක සභාවේ සභාපතිවරයා එය සලකා බලා එම කාලසීමාව වැඩි බවත් මේ සම්බන්ධ නීතිමය කටයුතු, අනුමැතින් ලබාගැනීම ඇතුළු සියලු කටයුතු 2023 සැප්තැම්බර් මස අග වන විට අවසන් කළ යුතු බවත් නිර්දේශ කරන ලදි.

මේ අනුව එම ලබාදුන් ක්‍රියාකාරී සැලැස්ම සහ කාල රාමුව අනුව කටයුතු සිදු කරන්නේද යන්න රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අධීක්ෂණයට යටත්ව මේ සඳහා අනුමැතිය ලබාදීම සිදු විය.

මෙහිදී කාරක සභා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා පෙන්වා දුන්නේ 2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර (නියාමන) පනත 2010 වසරේ සිට බලාත්මක වී වසර 12ක් වැනි දීර්ඝ කාලයක් ගතවී තිබුණද නියාමනය සම්බන්ධයෙන් අවශ්‍ය ආයතනයක් නොමැති වීම ගැටලු සහගත බවයි. එසේම මෙම සකස්කොට ඇති ක්‍රියාකාරී සැලැස්ම අනුවද ඉක්මනින් මේ සම්බන්ධයෙන් කටයුතු කිරීම වැදගත් වන බව හෙතෙම පෙන්වා දුන්නේය.

මෙම කාරක සභාව සඳහා රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, (නීතීඥ) චන්දිම වීරක්කෝඩි, එම්. ඒ. සුමන්තිරන්, (වෛද්‍ය) කාවින්ද ජයවර්ධන, ප්‍රේම්නාත් සී දොලවත්ත, මධුර විතානගේ සහ (මහාචාර්ය) රංජිත් බණ්ඩාර යන මහත්වරු සහභාගී වූහ.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *