27 April 2024
#දේශීය

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාර්ෂික ක්‍රීඩා තරඟාවලියේ ගයාශාන් නවනන්ද ශුරතා රැසකට ජය

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාර්ෂික ක්‍රීඩා තරඟාවලියේ ජයසංකේත සහ සහතික පත් ප්‍රදානය කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් පාර්ලිමේන්තුවේ බිලියඩ් ශාලාවේදී ඊයේ (08) පැවැත්විණ.

අංශ 06 ක් යටතේ තරඟාවලිය පැවැත්විණ. දාම් තරඟ අංශයේ ශූරතාව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්.එච්.එම් ධර්මසේන මහතා දිනා ගත්තේය. එහි අනුශූරතාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගයාෂාන් නවනන්ද මහතා විසින් දිනා ගනු ලැබීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගයාශාන් නවනන්ද මහතා චෙස්, කැරම් සහ ස්නුකර් යන තරඟ අංශ 03 හිම ශූරතාව දිනා ගැනීමට සමත්වීම විශේෂත්වයකි. මේසපන්දු තරඟ අංශයේ ශූරතාව පාර්ලිමේන්තු මන්ත්‍රී වරුණ ලියනගේ මහතා දිනා ගත්තේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා චෙස් සහ ස්නුකර් යන තරඟ අංශවල අනුශූරතාව දිනා ගැනීමට සමත් විය. කැරම් අනුශූරතාව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා දිනා ගත් අතර, මේස පන්දු අනුශූරතාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගයාශාන් නවනන්ද මහතා දිනා ගත්තේය.

පූල් ක්‍රීඩා ශූරතාවද පාර්ලිමේන්තු මන්ත්‍රී ගයාශාන් නවනන්ද මහතා දිනා ගත් අතර එහි අනුශූරතාව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා දිනා ගත්තේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාර්ෂික ක්‍රීඩා තරඟාවලිය මෙවර පැවැත්වුණේ 03 වැනි වරටයි. පාර්ලිමේන්තු කාර්‍ය මණ්ඩලයේ කේ.පී.ඊ.නන්දදේව මහතා තරඟ විනිශ්චය කිරීමෙන් දායක විය.

ජයසංකේත සහ සහතික පත් ප්‍රදානය කිරිමේ අවස්ථාවට නියොජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රිවරු පිරිසක්ද, පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක, වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු යන මහත්වරු ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *