ඇමරිකානු ඉතිහාසයේ අතිශය අභිරහස් සහ දක්ෂතම පලායන්නා ලෙස සැලකෙන තියඩෝර් ජෝන් කොන්රඩ් (Theodore John Conrad) නැමැත්තා වසර 52ක් පුරා නීතියේ ඇසට වැලි ගසමින් ජීවත් වී මියගොස් ඇත. 1969 වසරේදී ඔහු විසින් සිදුකළ ඩොලර් 215,000ක බැංකු කොල්ලය ලෝක ඉතිහාසයේ සාර්ථකව සැඟවුණු අපරාධයක් ලෙස සැලකේ.1969 ජූලි මාසයේදී ඔහායෝ හි සොසයිටි නැෂනල් බැංකුවේ සේවය කළ 20 හැවිරිදි කොන්රඩ්, සිනමා පටයකින් ආභාෂය ලබා බැංකුවේ මුදල් කොල්ලකා කිසිදු හෝඩුවාවක් නොමැතිව අතුරුදන් විය. ඔහු බොස්ටන් වෙත ගොස් ‘තෝමස් රෙන්ඩෙල්’ (Thomas Randele) ලෙස නව නාමයක් අරගෙන, අතිශය ගෞරවනීය සහ සාමකාමී ජීවිතයක් ගත කළේය. වසර ගණනාවක් පුරා U.S. Marshals නිලධාරී ජෝන් එලියට් සහ ඔහුගේ පුත් පීට් එලියට් මෙම අපරාධකරුවා සොයා දිගින් දිගටම පරීක්ෂණ සිදු කළහ.2021 වසරේදී පෙනහළු පිළිකාවකින් පීඩා විඳිමින් සිටි තෝමස් රෙන්ඩෙල්, මියයෑමට පෙර තමන්ගේ සැබෑ අනන්‍යතාව තම බිරිඳට සහ දියණිය වන ඈෂ්ලි රෙන්ඩෙල්ට (Ashley Randele) හෙළි කළේය. ඔහුගේ මරණයෙන් පසු පුවත්පතක පළවූ ශෝක ප්‍රකාශයේ තිබූ තොරතුරු පරීක්ෂණ නිලධාරීන්ගේ සැකයට බඳුන් වූ අතර, පසුව සිදුකළ ලේඛන සහ ඡායාරූප සැසඳීමකින් ඔහු කොන්රඩ් බව තහවුරු විය.තමන්ගේ පියා අපරාධකරුවෙකු වුවද, තමන් සහ මව වෙනුවෙන් ඔහු ඉතා ආදරණීය තාත්තෙක් ලෙස කටයුතු කළ බව දියණිය පවසයි. මේ සම්බන්ධයෙන් ඈෂ්ලි රෙන්ඩෙල් ‘Smoke Screen My Fugitive Dad’ නමින් පොඩ්කාස්ට් මාලාවක් නිර්මාණය කරමින් සිය අත්දැකීම් ලෝකය සමඟ බෙදාගෙන ඇත. පීට් එලියට් සඳහන් කළේ තම පියාගේ ජීවිත කාලීන සිහිනය වූ මෙම අභිරහස විසඳීම අවසානයේ සිදුකළ හැකි වූ බවයි.
















