වත්තල, ශාන්ත ආනා මාවතේ නිවසකට 2021 ජූලි 09 දින පාන්දර 5.30ට පමණ කඩා වැදුණු සොරෙකු, නිවසේ සිටි සොහොයුරන් දෙදෙනා විසින් සිදුකළ පහරදීමකින් මියගොස් ඇත. නින්ජා ඇඳුමකට සමාන ආවරණයකින් මුහුණ වසාගෙන සිටි සැකකරු, නිවසේ දොර කඩා ඇතුළු වීමට උත්සාහ කර ඇති අතර, එහිදී සොහොයුරන් දෙදෙනා තම ජීවිත ආරක්ෂාව වෙනුවෙන් ක්‍රිකට් පිත්තක් භාවිතා කරමින් ඔහුට පහර දී තිබේ. සිද්ධියෙන් පසු පොලිසිය විසින් රෝහල් ගත කළ සැකකරු මියගොස් ඇති බව තහවුරු විය.සොහොයුරන් දෙදෙනා මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් සැකපිට සිටියද, ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 96 වැනි වගන්තිය යටතේ හිමිවන ‘පෞද්ගලික ආරක්ෂාවේ අයිතිය’ මත ඔවුන් අත්අඩංගුවට නොගැනීමට එවකට වත්තල පොලිස් ස්ථානාධිපතිවරයා කටයුතු කර ඇත. වැලිසර මහේස්ත්‍රාත් හේෂාන් ද මෙල් මහතා සිද්ධිය වූ ස්ථානයට පැමිණ විමර්ශන සිදුකළ අතර, සැකකරුවන් තම ජීවිත ආරක්ෂාව වෙනුවෙන් මෙම ක්‍රියාව සිදුකළ බව තහවුරු විය.මියගිය පුද්ගලයා සන්තකයේ තිබී හමුවූ හැඳුනුම්පත බුද්ධික ආරියසේන ජයලත් නමැත්තෙකුගේ වුවද, පසුව අනාවරණය වූයේ ඔහු එම හැඳුනුම්පතේ හිමිකරුගේ සහෝදරයා වන සමන්ත ආරියසේන ජයලත් බවයි. මියගිය සමන්ත යුද හමුදාවෙන් පලා ආ, දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙකු (IRC) වන අතර, ඔහුට එරෙහිව අධිකරණ කිහිපයක නඩු 31ක් පැවති බවත්, ඔහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයෙකු බවත් විමර්ශනවලදී හෙළි විය.
















