27 April 2024
#දේශීය

අධ්‍යාපනයේ විප්ලවයක් කළ යුතුයි – විපක්ෂ නායක සජිත්

මේ වන විට අප රටේ අධ්‍යාපන ක්‍රමයේ දැවැන්ත කඩාවැටීමක් සිදුව ඇති බවත් එවැනි අධ්‍යාපන ක්‍රමයකින් ලොව දිනිය නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා  පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ සක්වල වැඩසටහනට සමගාමීව 47 වන බස් රථය ලෙස රුපියල් පනස් ලක්ෂයක්  වටිනා (රු. 5,000,000.00) බස් රථයක් පො/තෝපාවැව ජාතික පාසැලට අද(21)  පරිත්‍යාග කරනු  ලැබු අවස්ථාවට එක්වෙමිනි.

නව ලොවක් කරා යන ගමනේ දී ජාත්‍යන්තරය ජයග්‍රහණය කිරීමට නම් ඩිජිටල්, පරිගණක හා ඉංග්‍රීසි භාෂා අධ්‍යාපන විප්ලවයක් ක්‍රියාත්මක විය යුතු බවත් සෑම පාසලකම දරුවන්ගේ ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාව ලෝකයේ ඉහළම මට්ටමට ගෙන ආ යුතු බව විපක්ෂනායකවරයා පැවසිය.

ඉංග්‍රීසි භාෂාව හසල ලෙස භාවිත කිරීමේ හැකියාව පුළුල් කළ යුතු යැයි පැවසූ විට ලිංමැඩි සංකල්පයේ සිටින සුළු පිරිසක් හිනාවෙන බව කී විපක්ෂ නායකතුමා , අලුත් දෙයක් ඉගෙන ගැනීම නවීකරණය කරා යන රටකට වැදගත් සංකල්පයක් බවත් මේ කතා නිසා සමහර පාර්ශ්වයන්ගේ ඡන්ද අහිමි විය හැකි වුවත් මේ තුළින් අප රටේ අධ්‍යාපන ක්‍රමයේ සුවිශේෂී වෙනසක් සිදු වන නිසා එම ඡන්ද අහිමි වුණාට ඒ ගැන තැකීමක් නොකරන බව හෙතෙම පැවසීය.

ගිරා පෝතක ක්‍රමයෙන් ඉවත්ව ප්‍රශ්නවලට විසදුම් ලබා දෙන අධ්‍යාපන ක්‍රමයක් ඇති කළ යුතු බවත් ජාත්‍යන්තර ශ්‍රම වෙළෙඳපොළ කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් ඇති කළ යුතු බවත් දේශප්‍රේමය යැයි පවසා එවැනි අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීමට විරුද්ධ වීම අප රට තවත් බංකොලොත් කිරීමක් බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ සමගි ජන බලවේග රජයක් තුළ පරිගණක, තොරතුරු තාක්ෂණය සහ ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය මේ මහ පොළොවේ යථාර්ථයක් බවට පත් කරන බව යි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *