තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කට්ටමුරිච්චාන, මීවැල්ලෑව සහ පෑතිස් රැඹෑව යන ගම්මානවල ගොවීන් මේ වන විට වන අලි රංචුවක් හේතුවෙන් දැඩි අසරණභාවයට පත්ව සිටිති. අක්කර 200කට අධික ගොවීන්ගේ කුඹුරු යාය මේ වන විට අලි රංචුවක තර්ජනයට ලක්ව ඇති අතර, අග්බෝ ඇතා ද ඇතුළු මෙම වන අලි රංචුව රාත්‍රී කාලයේ පමණක් නොව මහ දවාලේදී පවා කුඹුරු වලට පැමිණ ගොයම් විනාශ කරන බව කට්ටමුරිච්චාන ගොවි සංවිධානයේ සභාපති සුසන්ත රාජකරුණා මහතා පවසයි.
අලින්ට දැන් රැයක් දහවලක් නොමැති හෙයින් ගොවීන්ට පැය 24 පුරාම අවදියෙන් සිටිමින් පැල් රකින්නට සිදුව ඇති බවත්, ඒ සඳහා අවශ්‍ය වන අලි වෙඩි පවා නොමැති වීම විශාල ගැටලුවක් බවත් සභාපතිවරයා පෙන්වා දෙයි. වන ජීවී නිලධාරීන් වෙත මේ පිළිබඳව දැනුම් දුන්නද, නිලධාරීන්ගේ හිඟකම සහ වාහන පහසුකම් නොමැතිකම හේතුවෙන් ඔවුන්ට කඩිනමින් සහාය ලබා දීමට නොහැකි වී ඇත. එබැවින්, ලබන 18 වැනිදා අස්වනු නෙළීමට නියමිත අක්කර 50ක ප්‍රමාණය හෝ ආරක්ෂිතව ගෙට ගැනීමට වන ජීවී නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් මෙම අලි රංචුව පන්නා දැමීමට කටයුතු සලසා දෙන ලෙස ගොවීහු බලධාරීන්ගෙන් බැගෑපත්ව ඉල්ලා සිටිති. මෙවර යල කන්නයේ වගාව සඳහා විශාල නිෂ්පාදන පිරිවැයක් දැරූ ගොවීන්, තම වියදමවත් පියවා ගැනීමට නොහැකිව දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බැවින්, මෙම අර්බුදයට කඩිනම් විසඳුමක් නොලැබුණහොත් ඔවුන්ගේ සමස්ත අස්වැන්නම විනාශ වී යාමේ අවදානමක් පවතී.














