27 April 2024
#දේශීය

පක්ෂය කඩාගෙන ගිය අය අද පක්ෂයට ගරහනවා – නි.ඇමැති මනුෂ කියයි 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩාගෙන ගිය පිරිස් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැතිධූරයට පත් කරන බව කියමින් ජනතාව තුන්වැනි වරටත් රවටා ඇති බවත් ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට හූ කියමින් පක්ෂයට ගරහන කණ්ඩායමක් බවට පත්ව ඇති බවත් විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය ගාල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක මනුෂ නානායක්කාර මහතා පවසයි. 

අමාත්‍යවරයා මේ බව පැවසුවේ දකුණු පළාත් අමාත්‍ය චන්දිම රාසපුත්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් ආසන බල මණ්ඩලය රැස්වීමක් අමතමින්. 

එහිදී වැඩිදුරටත්  මනුෂ නානායක්කාර  අමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය ” මහින්ද මහත්තයා අගමැති කරන්න ඡන්දය දෙන්න කිව්වාම අපේ අය පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය දුන්නා. ගෝල් ෆේස් එකට මැයි දිනයට එන්න කියලා කිව්වම අපේ අයත් මහින්ද මහත්තයා අගමැති කරන්න ගෝල් ෆේස් පිට්ටනියට ගියා. එහෙම ගිහින් මහින්ද මහත්තයා අගමැති කරන්න බෑ. මහින්ද මහත්තයා අගමැති කරන්න පුලුවන්කම ලැබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එකතු වුනොත් විතරයි.  එහෙම නැතිව මහින්ද මහත්තයා අගමැති කරන්න බෑ.

පහුගි දවසේ ලොකු උද්ඝෝෂණයක් සංවිධානය කළා. ටී.වී. එක ඉස්සරහට ආපු නෝනලා මහත්තුරු ආණ්ඩු බලය අරගෙන මිසක් ගෙදර යන්නේ නෑ කියලාකිව්වා. අන්තිමේදී මොකද වුනේ? රෑ එකොළහමාර වෙනකොට උද්ඝෝෂණය ඉවරයි. රෑ නමයටත් ප්‍රවෘත්ති වලට කිව්වේ රෑ එළිවෙනකම් ඉන්නවා කියලයි. ඒත් රෑ එකොළහමාර වෙනකොට උද්ඝෝෂණය ඉවරයි අපි ගෙවල්වල යනවා කියලා කිව්වා. දෙන්නෙක් මැරුණා. අසූ ගණනක් රෝහල් ගත කළා. මේක විතරයි ජනතාවට ලැබුණේ. ඒ අය කොළඹ හෝටවල්වල නිදාගත්තා. මහින්ද මහත්තයා අගමැති කිරීමට තුන්වැනි වරටත් ජනතාව රැවටීම විතරයි සිදුවුනේ. මහින්ද මහත්තයාට තියෙන ආදරය විකුණාගෙන තමන්ගේ දේශපාලන ගමන යෑමට තමයි ඇතැම් අයට අවශ්‍යවී තිබෙන්නේ. තමන්ට තියෙන ප්‍රශ්ණ වසාගැනීමට තමයි මේ හදන්නේ.

අද අපි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා අපිට ඉලක්කයක් ලබාදී තිබෙනවා. ඒ තමයි මධ්‍ය සංවිධාන ශක්තිමත් කරන්න. ශාඛාවේ අයට රස්සා දෙන්න. ශාඛාවේ අයට උදව් කරන්න. කියලා තමයි ජනාධිපතිතුමා කියලා තියෙන්නේ.   අපි ඉදිරියට ගිහින් ඊළග ආණ්ඩු බලය ලබාගැනීමට  කටයුතු කරමු. මේ වෙලාවේ රටක් විදියට, සංවර්ධන කටයුතු ඉදිරියට යද්දී, රැකියා අවස්ථා ලබාදෙද්දී ඔබලා එහි කොටස්කරුවන් ලෙස ඉදිරියට යන්න පුලුවන්. යැයි  මනුෂ නානායක්කාර  අමාත්‍යවරයා කියා සිටියේය. 

Leave a comment

Your email address will not be published. Required fields are marked *