27 April 2024
#දේශීය

ආහාර අතිරික්තයකට හා දේශීය වෙදකම උදෙසා නිෂ්පාදන ගම්මාන දහස් ගණනක් උදෙසා සූදානම් – අමාත්‍ය දිනේෂ්

අතිරික්ත ආහාර නිෂ්පාදනය සඳහා සහ දේශීය වෙදකම උදෙසා, ගෙවත්ත යොදාගෙන ගම්මාන දහස් ගණනක් බිහි කිරීමේ දීර්ඝ කාලීන ඉලක්කයට, ග්‍රාම නිලධාරී සහ පළාත් පාලන ආයතන මට්ටමින් ගමන් කරන බව, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් සභා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ, පා.ම. යදාමිණි ගුණවර්ධන මහතාගේ විමධ්‍යගත අරමුදලින් රු. ලක්ෂ 10ක් වියදම් කර, කැස්බෑව නාගරික මන්ත්‍රී ලලිත් රෝහණ ලියනගේ මහතාගේ මූලිකත්වයෙන් අලුත්වැඩියා කළ කැස්බෑව – ගොරකපිටිය ග්‍රාම නිලධාරී කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවක් සඳහා, 04 වනදා දින එක්වෙමිනි.

මෙහිදී අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේද කීය.

” දේශීය නිෂ්පාදන ආර්ථිකයක් තුළින් ආහාර අතිරික්තයක් රට තුළ ඇතිකිරීමේ ඉලක්කයට,අප යා යුතුයි. ඒ සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඉලක්ක කර ගෙවතු වගා වැඩසටහන ක්‍රියාත්මකයි. ග්‍රාම නිලධාරී , ගොවිජන නියාමකවරුන් , ආර්ථික සංවර්ධන නිලධාරීන් මෙන්ම මහජන නියෝජිතයින් එහි මූලිකත්වය ගනු ඇත. අපේ පැරණි කෘෂි ශිෂ්ටාචාරය යළි පනගැන්විය යුතුයි. අතීතයේ දී ශ්‍රී ලංකාව කෘෂිකර්ම නිෂ්පාදනය තුළින් වෙනත් රටවලට ආදර්ශයක් සැපයූවා. අපේ ගෙවත්ත දේශීය බෝග වගාවෙන්, දේශීය ඖෂධ පැලෑටිවලින් සරු කර ගත යුතුයි . තරුණ පරපුර සහ පාසල් දරුවන්ද මීට යොමු කර එම වැඩසටහන් ශක්තිමත් කළ යුතුයි. “

මහා සංඝරත්නයේ ආශිවාද මැද, පා.ම.යදමිණි ගුණවර්ධන, කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න, කැස්බෑව ප්‍රාදේශීය ලේකම් එච්. ප්‍රේමදාස, කැස්බෑව නාගරික මන්ත්‍රීවරුන් වන ලලිත් රෝහණ, ප්‍රසද් රාජපක්ෂ යන මහත්තුරු මෙන්ම ග්‍රාම නිලධාරී ඇතුළු රජයේ නිලධාරීහුද, ප්‍රදේශවාසීහුද මෙම අවස්ථාවට එක්වූහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *