කුලී ගමනක් යන මුවාවෙන් කුලී රථයකට ගොඩවී, රියදුරාට හිංසා කර මුදල් කොල්ලකෑ සැකකරුවන් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම කොල්ලකෑමේ සිදුවීම මෝටර් රථයේ ඉදිරිපස සවිකර තිබූ කැමරාවක (Dashcam) පටිගත වී තිබූ අතර, එම දර්ශන ඊයේ (31) දිනයේ සමාජ මාධ්‍ය හරහා දැඩි ලෙස සංසරණය විය. එම දර්ශන පදනම් කරගෙන සිදු කළ කඩිනම් විමර්ශනවලදී සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය.
ඒ අනුව, බොරැල්ල පොලිසිය විසින් සැකකරුවන් දෙදෙනෙකු සහ වැලිකඩ පොලිසිය විසින් එක් සැකකරුවෙකු ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත.
බොරැල්ල, කොටා පාර ප්‍රදේශයේදී මෙම පිරිස විසින් රියදුරා සතු ව තිබූ රුපියල් 38,500ක මුදලක් කොල්ලකා පලාගොස් ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. සිද්ධියට මුහුණ පෑ රියදුරා විසින් ඒ සම්බන්ධයෙන් වැලිකඩ පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ද සිදුකර තිබුණි.
















