අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය කොළඹ පිහිටි හෝටලයක පැවැති උත්සවයකට සහභාගි වීමට පැමිණි අවස්ථාවේදී, ඇයගේ පැමිණීම දුරදක්නයක් ආධාරයෙන් නිරීක්ෂණය කළ බව කියන පුද්ගලයන් තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
කොම්පඤ්ඤවීදිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මෙම සැකකරුවන් තිදෙනා මෙම මස 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කර ඇත. සැකකරුවන් අතුරින් දෙදෙනෙකු සහෝදරයන් වන අතර, ඔවුන් කින්නියා සහ මොල්ලිපෝතාන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් මෙම නිරීක්ෂණය අනාවරණය කරගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කර තිබේ.














