මරදාන සිට හික්කඩුව බලා ධාවනය වූ කාර්යාලීය සීඝ්‍රගාමී දුම්රියේ, අලුත්ගම ඩිපෝව පාර පිහිටි දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රීරෝද රථයක් ගැටීමෙන් එහි රියැදුරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බව අලුත්ගම පොලිසිය පවසයි. මෙම අවාසනාවන්ත අනතුර අද (10) සවස් කාලයේදී සිදුව තිබේ.
අනතුරට පත් ත්‍රීරෝද රථය දර්ගා නගරයේ සිට අලුත්ගම දෙසට ධාවනය වී ඇති අතර, දුම්රිය පැමිණෙන අවස්ථාවේදී අපරීක්ෂාකාරී ලෙස එය දුම්රිය මාර්ගයට ඇතුළු කිරීම නිසා මෙම අනතුර සිදුව ඇති බව පොලිස් මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. අනතුර සිදුවන අවස්ථාවේදී ත්‍රීරෝද රථය තුළ රියදුරු පමණක් සිට ඇති බව ද තහවුරු වී තිබේ.
මෙම අනතුරින් සදහටම ජීවිතයෙන් සමුගෙන ඇත්තේ කරපාගල, යගිරල ප්‍රදේශයේ පදිංචිව සිටි රුවන් කුමාර විතානාච්චි නැමැති 40 හැවිරිදි පුද්ගලයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් අලුත්ගම පොලිසිය විසින් ඉදිරි විමර්ශන කටයුතු අඛණ්ඩව සිදුකරනු ලබයි.
















