ගම්පොළ, නාරන්විට ප්‍රදේශයේදී සොල්දරයකින් ඇද වැටුණු පියාට යටවීමෙන් තුන් හැවිරිදි පිරිමි දරුවෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.
නිවසේ සොල්දරය මත තිබූ ජල බටයක් ගැනීමට පියා එහි නැග ඇති අතර, එම අවස්ථාවේදී දරුවා පහළ සිට පියා දෙස බලා සිට ඇත. සොල්දරයේ ලෑල්ලක් ගැලවී යාම හේතුවෙන් පියා දරුවා මතට ඇද වැටී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය විය.
අනතුරින් බරපතළ තුවාල ලැබූ පියා සහ පුතු ගම්පොළ රෝහලට ඇතුළත් කළද, ඒ වන විටත් දරුවා මියගොස් සිට ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි. තුවාල ලැබූ පියා මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ගම්පොළ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.














